Skip to Main Navigation
විශේෂාංග කථාව 2021, ජනවාරි 15

පරීක්ෂා කිරීම, ආශ්‍රිතයන් සොයායාම, හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම - ශ්‍රී ලංකාවේ වසංගත කලමනාකරණ සූත්‍රය / උපාය මාර්ගය, බිම් මට්ටමේ ක්‍රියාත්මක කිරීම

Image

Sri Lanka's wide network of public health workers has been the backbone of the country's COVID response.

Photo Credit - Ruwan Walpola / Shutterstock


කථා සාරය

  • පරීක්ෂා කිරීම, ආශ්‍රිතයන් සොයා යාම, ප්‍රතිකාර කිරිම යන ශ්‍රී ලංකාවේ වසංගත කළමනාකරණ උපායමාර්ගය, රටේ හොඳින් ස්ථාපිත මහජන සෞඛ්‍ය පද්ධතිය මත විශාල ලෙස රඳා පවතී.
  • අවුරුද්දකට ආසන්න වූ කාලයක් තුළ, රට පුරා සිටින සෞඛ්‍ය සේවකයින් වසංගත කළමනාකරණය පිළිබඳ වටිනා අවබෝධයක් සහ අත්දැකීම් ලබාගෙන ඇත.
  • වසංගතයට ගොදුරු වූ පළමු දිස්ත්‍රික්ක අතර වූ පුත්තලම් දිස්ත්‍රික්කය, වසංගත කළමනාකරණයේ සුවිශේෂී වූ අවදානම් සාධක සහ බිම් මට්ටමේ යථාර්ථයන්ට ප්‍රතිචාර දක්වා ඇත.

රට පුරා බිම් මට්ටමේ අත්දැකීම්

ශ්‍රී ලංකාවේ වසංගත ප්‍රතිචාරය පසුපස සිටින ප්‍රධානතම බලකාය රට පුරා විහිදී සිටින මහජන සෞඛ්‍ය සේවකයින්ගේ පුළුල් ජාලයයි. මෙම ලිපි මාලාව, පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර, රට පුරා සිටින මහජන සෞඛ්‍ය සේවකයින්ගේ දෘෂ්ටි කෝණයෙන් වසංගත කළමනාකරණය කිරීමෙහි බිම් මට්ටමේ යථාර්ථයන් හඳුනා ගැනීමට අරමුණු කරයි.

පුත්තලමෙහි වසංගතය තත්වය

 “කොවිඩ් 19 වසංගතය, පුත්තලම දිස්ත්‍රක්කයට බලපෑවේ දිවයිනේ වෙනත් ප්‍රදේශයන්ට පැතිර යාමට පළමුවෙනි,” යනුවෙන් පුත්තලමෙහි කොවිඩ් 19 ප්‍රතිචාර උපාය මාර්ගයේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කළ ප්‍රජා  සෞඛ්‍ය විශේෂඥ  වෛද්‍ය තුෂානි දාබරේ පවසා සිටියි.

වයඹ පළාතේ පිහිටා ඇති පුත්තලම දිස්ත්‍රික්කයට, කොවිඩ් 19 වසංගතය දැඩි ලෙස බලපෑ අතර පුත්තලමෙහි සෞඛ්‍ය සේවකයින්, වසංගතය මැඩ පැවැත්වීමට කටයුතු කල  ප්‍රථම සෞඛ්‍ය සේවකයන්  අතර විය.

2007 වසරේ සිට පුත්තලමෙහි වසංගත රෝග වෛද්‍යවරියක ලෙස සේවය කළ වෛද්‍ය දාබරේ දිස්ත්‍රික්කය හොඳින් දැන සිටියාය. ඇය එහි ජනතාව, භූගෝලීය පිහිටීම, සුවිශේෂී සිරිත් විරිත් මෙන්ම ඒ සියල්ලට වඩා වැදගත් ‌වන පුත්තලමෙහි මහජන සෞඛ්‍ය සේවා ජාලය හොඳින් දැන සිටියාය. “මෙම ප්‍රදේශයේ පවතින යම් සුවිශේෂී අවදානම් සාධක හේතුවෙන් වසංගතය පිළිබඳ පුත්තලමට ඇත්තේ  තරමක් වෙනස් අත්දැකීමක්,” යැයි පවසා සිටි වෛද්‍ය දාබරේ “එම නිසා වසංගතය නිසි පරිදි පාලනය කිරීමට  නම් අපගේ උපායමාර්ගය ද වෙනස් එකක් විය යුතුව තිබුනි.” යනුවෙන් එක්කර සිටියාය.

අවදානම් කලමනාකරණය සහ ඉක්මන් ප්‍රතිචාරය

කොවිඩ් 19 පිළිබඳ හදිසි භීතිකාව රටේ සෙසු ප්‍රදේශවලට පැමිණීමට පෙර සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර, 2020 ජනවාරි මාසයේදී පුත්තලම දිස්ත්‍රික් නිලධාරීන් මෙම සෞඛ්‍ය අපදා තත්වය සඳහා ප්‍රතිචාරය දැක්වීම ආරම්භ කරන ලදි. චීන අලුත් අවුරුද්ද සැමරීම සඳහා තම මව්බිම වෙත ගොස් සිටි චීන ජාතික ඉංජිනේරුවන් පිරිසක්, 2020 ජනවාරි 15 ​​වන දින පුත්තලමෙහි රැකියාව සඳහා නැවත පැමිණුනහ.

ඒ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වැළැක්වීමේ පියවරයන් මහා පරිමාණයෙන් හඳුන්වා දී නොතිබූ අතර නිරෝධායන හා පරීක්ෂණ පහසුකම් ද ස්ථාපිත කර නොතිබුණි. සිදුවිය හැකි අවදානම වහා වටහා ගනිමින් දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන් විසින්, එම ඉංජිනේරුවන් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වුවත්  එම පුද්ගලයන්ව නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කර, එම ප්‍රදේශයේ සුළු පරිමාණ කළමනාකරණ හා වැළැක්වීමේ ක්‍රියාමාර්ගයන් දියත් කළහ. රෝහල් සඳහා අත්‍යාවශ්‍ය වූ ප්‍රතිපාදනයන් සැපයූ අතර, කොවිඩ් 19 රෝග ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.

පෙබරවාරි වන විට දෙවන අවදානම් සාධකය ද හඳුනා ගන්නා ලදී. ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වැඩිම පිරිසකගේ නිවෙස් පිහිටා ඇත්තේ ‘පුංචි ඉතාලිය’ ලෙස විරුදාවලිය ලත් වෙන්නප්පුව නගරයෙහි වන අතර, ඉතාලියේ වසංගතය උපරිම මට්ටමට ළඟා වෙත්ම බොහෝ ශ්‍රී ලාංකිකයන් පුත්තලමට ආපසු පැමිණීමට පටන් ගත්හ.

පෙබරවාරි සහ මාර්තු මාස තුළදී පුද්ගලයින් 2500-3000 ත් අතර ප්‍රමාණයක් ඉතාලියේ සිට පුත්තලම  වෙත ආපසු පැමිණි අතර ඉන් බොහෝ දෙනෙක් කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කලහ. විදේශගතවී පැමිණි පිරිස් නිවෙස් වලම ස්වයං නිරෝධායනය විය යුතු වුවද, තත්වයෙහි බරපතලකම ඒ වන විටත් වටහාගෙන නොතිබූ අතර නිරෝධායනය බලාත්මක කිරීම මහත් අභියෝගයක් විය.

සාමාන්‍යයෙන් 200,000ක පමණ ජනකායක් රැස්වන තලවිල පල්ලියේ මංගල්‍යය හේතුවෙන් තත්වය තවත් බරපතල විය. “මෙම ප්‍රදේශය තුල  100,000ක පමණ ජනගහනයක් අක්කර  10-20 ක පමණ භූමි ප්‍රමාණයක ජීවත් වෙනවා . නිරෝධායන පනත ඒ වන විටත් ගැසට්ගත කර නොතිබූ අතර මෙම කාල සීමාව තුළ නිරෝධායනය බලාත්මක කිරීම අපට ඉතා අපහසු විය. ”යනුවෙන් වෛද්‍ය දාබරේ පැහැදිලි කර සිටියාය.

එම අවස්ථාව වන විට පුත්තලමෙහි හුදකලා කිරීම සඳහා වෙන්වූ ස්ථානයක් නොතිබූ අතර දිස්ත්‍රික්කයේ ඉහළ යන රෝගීන් සංඛ්‍යාව රෝහල් ධාරිතාව ඉක්මවා යනු ඇති බව බලධාරීන් මුලදීම වටහා ගත්හ. ඒ අනුව වෙන්වූ හුදකලා ස්ථානයක අවශ්‍යතාවය හඳුනාගත් දිස්ත්‍රික් බලධාරීන් හුදෙකලා ප්‍රදේශයක වූ අක්කර 540ක භාවිතයට නොගත් දේපලක් හඳුනාගත්හ. මෙම දේපල මාර්තු මාසයේදී නිරෝධායන පනත යටතේ අත්පත් කර ගත් අතර, දින 20ක් ඇතුළත ඉරණවිල රෝහල බවට පරිවර්තනය කරන ලදී.

මාර්තු 14 වන දින දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 ආසාදිත පළමු පුද්ගලයා වාර්තා විය. ආශ්‍රිතයන් සෙවීමේ උත්සාහයන් වහාම දියත් කරන ලද අතර මාර්තු 18 වන දින නිල වශයෙන් ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන ලදි.

රටේ වෙනත් බොහෝ ප්‍රදේශ වල මෙන්ම පුත්තලමෙහි ප්‍රජාව ද තමන්ට හැකි සෑම ආකාරයකින්ම බලධාරීන්ට සහාය දැක්වූහ. “අප හට ප්‍රමාණවත් තරම් පෞද්ගලික ආරක්ෂක උපකරණ නොමැති විට, ජනතාව එකට එක් වී, අමුද්‍රව්‍ය සොයාගනිමින්, නිවෙස් වල මුහුණු ආවරණ මැසීමට කටයුතු කළහ. පන්සල්, කන්‍යාරාම, මුස්ලිම් පල්ලි, කෝවිල් වැනි ආගමික ස්ථානයන්හි ආගමික නායකයින් සියල්ලම මුහුණු ආවරණ සෑදීමට කටයුතු කළහ” යනුවෙන් වෛද්‍ය දාබරේ පවසා සිටියාය.

මාර්තු අග වන විට, දිස්ත්‍රික්කය තුළ ප්‍රමාණවත් ලෙස පෞද්ගලික ආරක්ෂක උපකරණ පැවතුනු අතර අවදානමට ලක්විය හැකි පවුල් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට පියවර ගන්නා ලදී. “දේශපාලන බලධාරීන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ආගමික නායකයින්, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සමාජ සංවිධාන සියල්ලන් හටම ඉටු කිරීමට වැඩ කොටසක් තිබූ අතර අප සියල්ලෝම  කණ්ඩායමක් ලෙස එක්ව වැඩ කළෙමු. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු, ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය උදානි අධිකාරි සහ දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා වෙතින් අපට හොඳ නායකත්වයක් ලැබුනු අතර  සහාය, හොඳ නායකත්වය සහ ශක්තිමත් හා කාලෝචිත තීරණ ගැනීම මෙම ක්‍රියාවලියට විශාල වශයෙන් ඉවහල් විය. ” යනුවෙන් වෛද්‍ය දාබරේ පවසන්නීය.


Image

Dr. Thushani Dabrera conducting an awareness session for public sector officials at the Divisional Secretariat Office in Wanathawiluwa.

Photo credit: Dr. Dinej Chandrasiri


දෙවැනි රැල්ලට මුහුණ දෙමින්

ඔක්තෝම්බර් මාසයේ සිට අසල්වැසි ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර බිහිවීමත් සමඟ ඇතිවූ දෙවන ආසාදන රැල්ල පුත්තලමට දැඩි ලෙස බලපා තිබේ. බොහෝ ඇඟලුම් කම්හල් සේවකයින් පුත්තලමේ සිට සේවයට යන බැවින් ජනතාව මෙම දිස්ත්‍රික්ක දෙක අතර නිරන්තරයෙන් සංචරණයේ යෙදෙන අතර ප්‍රදේශයේ ධීවරයින්ටද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සමඟ සමීප සම්බන්ධතා පවත්වති. ආශිතයන් සොයා යෑම යම්තාක් දුරකට රෝගය පැතිරීම පාලනය කිරීමට උපකාරී වුවද දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට සිදුවිය.

දෙවන රැල්ල කළමනාකරණය කිරීම අභියෝගයක් වී ඇති අතර, පවතින උපාය මාර්ගයේ යම් අවහිරතා පවතින බව වෛද්‍ය දාබරේ පවසා සිටියි. “රසායනාගාරවලට අධික බරක් පැටවී ඇති අතර, මුලින්ම සිදුතල යුතු පරීක්ෂණ වලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා ක්‍රමවේදයක් නොමැත.” යනුවෙන් වැඩිදුරටත් පවසා සිටි වෛද්‍යවරිය වයඹ පළාතේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂිත රසායනාගාරයක් නොමැතිකම හේතුවෙන්  පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම සඳහා වැය වන කාලය හා ශ්‍රමය ඉහළ බව පැහැදිලි කළාය.

දෙවන රැල්ල දෙස බලන විට, සමාලෝචනය හා යළි තක්සේරු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව වෛද්‍ය දාබරේගේ මතයයි. “අප විසින් මීට වඩා හොඳින් සිදු කළ හැකිව තිබූ දෑ දෙස ආපසු හැරී බැලිය යුතුවේ. ඉදිරියේදී, සැලැස්මක් සැකසීමේදී සියලු අංශ සම්බන්ධ කර ගත යුතුය. ක්‍රියාත්මක කිරීම නිසි පරිදි සිදු නොවේ නම් මාර්ගෝපදේශ පැවතීම පමණක් තත්වය සමනය නොකරයි ”ඇය පවසයි.

පද්ධතිමය ගැටළු පසෙක දැමූ විට, වසංගතයේ ඉදිරි ගමක මහජනතාවගේ හැසිරීම මත තීරණය වේ. “අපගේ ආර්ථිකය පවත්වා ගැනීම සඳහා රට විවෘතව තබා ගත යුතු නමුත් ජනතාව ඔවුන්ගේ සංචරණය  සීමා නොකරන්නේ නම් අපට මෙය කළ නොහැක. නිල ඇඳිරි නීතියක් නොපවතින නමුත් එවැන්නක් පවතී සේ සළකා අප ක්‍රියා කළ යුතුය.” යනුවෙන් වෛද්‍ය දාබරේ පවසයි.

ලෝක බැංකුව මඟින් අරමුදල් සපයනු ලබන කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පරීක්ෂා කිරීම, ආශ්‍රිතයන් සොයායාම, හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම යන උපායමාර්ගයට සහාය වේ. අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ, පරීක්ෂණ කට්ටල සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ සැපයීම සඳහා දායක වීමට අමතරව,  ආශ්‍රිතයන් සොයා ගැනීමේ උත්සාහයන් සඳහා මෙන්ම රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමටද මෙම ව්‍යාපෘතිය උපකාර වේ. වසංගත සූදානම සම්බන්ධයෙන් ගත් කල, රටේ හදිසි ප්‍රතිචාර ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘතිය තුළින් කටයුතු කරනු ලබයි. ජාතික හදිසි මෙහෙයුම් ඒකකය සහ එහි දිවයින පුරා ජාලය ශක්තිමත් කිරීම, ජාතික වසංගත රෝග නිරීක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, තෝරාගත් රෝහල් වසංගත ප්‍රතිචාර මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම සහ දේශීය රසායනාගාර ජාලය ශක්තිමත් කිරීම කෙරෙහි ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් හරහා අවධානය යොමු කෙරේ. අවදානමට ලක්විය හැකි ජනතාව සඳහා මූල්‍ය ආධාර සැපයීම, මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට ගොදුරු වූවන්ට සේවා සැපයීම මගින් වසංගතයේ සමහරක් සමාජ ප්‍රතිවිපාකයන්ට පිළියම් යෙදීම පිළිබඳව ද මෙම ව්‍යාපෘතිය අවධානය යොමු කරයි.



Api
Api