මාධ්‍ය නිරාවරණය

වර්ධනය හා රැකියා අවස්ථා සඳහා ශ‍්‍රී ලංකාව සහ ලෝක බැංකුව ගිවිසුමක් අත්සන් තබයි

2016, සැප්තැම්බර් 5


2016 සැප්තැම්බර් 5‚ කොළඹ දී : ශී‍්‍ර ලංකාවේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට අනුග‍්‍රහය දැක්වීමට ලෝක බැංකුවේ සහන ණය අංශය වන ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන්  (IDA)  ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබා ගැනීම සඳහා වන ගිවිසුමක් ශී‍්‍ර ලංකාව සහ ලෝක බැංකුව අතර අද දින අත්සන් කරන ලදී.

දේශීය තරඟකාරිත්වය‚ විනිවිදභාවය සහ සාර්ව ආර්ථික ස්ථායීතාවය වැඩි දියුණු කිරීම කෙරෙහි යොමු වූ ප‍්‍රතිසංස්කරණ පැකේජයක් හරහා නව රැකියා මිලියනයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ වන අතර ඒ සඳහා යොමු වූ ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ගේ ස්ථාවර ප‍්‍රගතියක් මේ වන විට දක්නට ලැබේ. ශී‍්‍ර ලංකාව දේශීය සහ රාජ්‍ය අංශය විසින් මෙහෙයවන ආර්ථිකයක සිට පුද්ගලික අංශයේ හැකියාවන් මුදා හැරීමේ අවකාශය ඇති ආර්ථිකයකට යොමුවීමේ අවශ්‍යතාවය ලෝක බැංකුව විසින් මෑතකදී සිදුකළ ශී‍්‍ර ලංකාව පිළිබඳ විධිමත් අධ්‍යයණයකදී අවධාරනය කර ඇති අතර එමගින්‚ ගැටුම්කාරි තත්වයෙන් පසු  පුලුල් ආර්ථික වර්ධනයක් කරා යොමු වී වඩාත් ගුණාත්මක රැකියා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කිරීමේ ඇති හැකියාව පෙන්වා දී ඇත.

ශී‍්‍ර ලංකාවේ තරඟකාරිත්වය‚ විනිවිදභාවය සහ මුල්‍ය ස්ථාවරත්වය සඳහා සංවර්ධන ප‍්‍රතිපත්ති මුල්‍යාධාරය යටතේ  (DPF) ලබා දී තිබෙන මෙම ණය මුදල ශතකයක් තුල දී ශී‍්‍ර ලංකාවට ලබා දෙන මෙම වර්ගයේ දෙවැනි  මුල්‍යාධාරය වන අතර‚ එය පුද්ගලික අංශයේ තරඟකාරිත්වය සඳහා ඇති බාධක ඉවත් කිරීම‚ විනිවිදභාවයෙන් යුත් මනා පාලනයක් සහිත රාජ්‍ය ආයතන ඇති කිරීම සහ මුල්‍ය ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම සඳහා වන රජයේ ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයට අනුග‍්‍රහය දැක්වීම අරමුණු කර ගනිමින් ලබා දී ඇත.

“ආදායම් හිනිපෙලේ ඉහලට නැගීම සෑම ශී‍්‍ර ලාංකිකයෙකුගේම අපේක්‍ෂාවය.  මෙය යථාර්තයක් කිරීමට රැකියා සපයන අතරම තිරසාර ආර්ථික වර්ධනය සඳහා සිදුකළ යුතු අත්‍යාවශ්‍ය  ප‍්‍රතිසංස්කරණයන් කි‍්‍රයාත්මක කිරීම තුලනය කර ගැනීමේ අභියෝගයට රජය මුහුණ දී සිටී”  යැයි ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්‍ෂ අයිඩා පෂ්වරායි - රිද්ධිහෝග් මහත්මිය පැවසුවාය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත් තරඟකාරී කිරීමට නම් මූල්‍ය ස්ථාවරත්වය නඟා සිටුවීම මඟින් වැඩි දියුණු කළ රජයේ සේවා සැපයුම්‚ සමාජ වියදම් හා ප‍්‍රාග්ධන ආයෝජන සිදු කිරීමට අවශ්‍ය මූල්‍ය අවකාශය ඇති කිරීමට ප‍්‍රමුඛතාවය ලබා දිය යුතු වේ. “ප‍්‍රතිසංස්කරණයන්ගේ සාර්ථකත්වය එක් වරම ලබාගත නොහැකි අතර ලබාගන්නා ප‍්‍රතිඵල වල දිගු කාලීන සාර්ථකභාවය සනාථ කර ගැනීම සඳහා රජය විවිධ මෙවලම් භාවිතා කිරීම දිගටම සිදු කරනු ඇත.”   යනුවෙන් පෂ්වරායි-රිද්ධිහෝග් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.

“රටක තරඟකාරිත්වය වැඩි දියුණු කිරිම සහ වඩාත් හොඳ රැකියා වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කිරීම සඳහා ස්ථාවර සාර්ව ආර්ථික පරිසරය‚ දීර්ඝ කාලීන රජයේ ප‍්‍රතිපත්ති‚ යහපාලනය‚ ප‍්‍රමාණවත් මුල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීමේ අවස්ථා‚ ව්‍යාපාර පවත්වා ගෙන යෑමේ වියදම් අවම කරන කාර්යක්ෂම නීති පද්ධතියක්  වැනි සාධක ගණනාවක් අවශ්‍ය වන්නේය” යි ලෝක බැංකුවේ තරඟකාරිත්වය සහ වර්ධනය  පිලිබඳ වැඩසටහන් ප‍්‍රධානී එම්මෑනුවල් සලිනාස් මූනෝස් මහතා පැවසීය.  “මෙම වැඩසටහන ශී‍්‍ර ලංකාවේ ව්‍යවසායයන්ගේ වර්ධනය සඳහා ඇති ඉඩකඩ  පුලුල් කරලීමේ ශී‍්‍ර ලංකා රජයේ කැපවීමට සහයෝගය ලබා දෙන අතර වඩාත් තරඟකාරීව ගෝලීය ආර්ථිකය සමග වඩා හොඳින් ඒකාබද්ධ වීම සඳහා උපකාරී වනු ඇත.”

යෝජිත මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමේ සහ සම්බන්ධීකරණය කිරීමේ සමස්ථ වගකීම ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයට පැවරෙනු ඇත. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය‚ මුදල් අමාත්‍යාංශය‚ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය‚ විගණකාධිපති දෙපාර්තමේන්තුව‚ ආයෝජන මණ්ඩලය සහ ශී‍්‍ර ලංකා මහ බැංකුව මේ සඳහා දායක වන අනෙකුත් ආයතනයන්ය.

සංවර්ධන ප‍්‍රතිපත්ති මුල්‍යාධාරය (DPF) කෙලින්ම භාණ්ඩාගාරයට සපයන නොබැඳුනු මුල්‍ය අනුග‍්‍රහයක් වන අතර එය ප‍්‍රතිපත්ති සහ ආයතනික ප‍්‍රතිසංස්කරණයන් සඳහා අවශ්‍ය වන පැකේජය සම්පූර්ණ කළ පසු ඔවුන්ගේ අයවැය සකස් කිරීමේ ක‍්‍රමවත් යාන්ත‍්‍රණයක් හරහා බෙදාහැරිය හැකිය. මෙම වැඩසටහන යටතේ සිදුකරන ප‍්‍රතිසංස්කරණ ප‍්‍රයත්නයන්ට සහාය වීම සඳහා රජයට කිසිදු වියදමකින් තොරව ලෝක බැංකු කණ්ඩායම රජයට තාක්‍ෂණික සහාය ලබාදෙයි.

මාධ්‍ය සම්බන්ධතා
තුළ Washington:
Joe Qian
දුර: +1 (202) 473 56331
jqian@worldbank.org
තුළ Colombo:
Dilinika Peiris-Holsinger
දුර: +94 (011) 5561347
dpeiris@worldbank.org



Api
Api

Welcome