Skip to Main Navigation
විශේෂාංග කථාව 2020, නොවැම්බර් 19

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිට ළදරු පාසල වෙත: ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන සේවාවන් ඒකාබද්ධ කිරීමේ හැකියාව ගවේෂණය කිරීම

Image

In the care of a nurturing ECD center. Photo credit: Viraj Kanishka Madanayake (Photo was taken during pre-covid days)


කථා සාරය

  • සමාජ හා පවුල් ව්‍යුහයන් තුළ, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මුල් කරගත් භූමිකාවන් තුළ සහ වැඩ කරන පරිසරයන් තුළ වෙනස්වීම් නිසා, පවුලකට වියදම් දැරිය හැකි මුල් ළමාවිය අධ්‍යාපනය සහ ළමා රැකවරණය සඳහා වැඩි ප්‍රවේශයක් අවශ්‍ය වේ.
  • ළමා රැකවරණය හා අධ්‍යාපනය ඒකාබද්ධ කිරීම මගින් කුඩා දරුවන්ට සහ දෙමාපියන්ට වඩාත් කාර්යක්ෂම සේවාවන් සැපයීම සඳහා සමාජය තුළ වැඩෙන ප්‍රවණතාවක් ඇති වී ඇත.
  • ශ්‍රී ලංකාව ළමා රැකවරණය හා අධ්‍යාපනය සඳහා සැලකිය යුතු ආයෝජන සිදු කර ඇති නමුත්, ප්‍රවේශය, පවුලකට දරාගත හැකි මිලකට සේවා සැපයීම සහ මුල් අධ්‍යාපනයේ සහ ළමා රැකවරණයේ ගුණාත්මකභාවය පිළිබඳ ඉලක්ක තවමත් සාක්ෂාත් කරගෙන නැත.

වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා මුල් කාලීන සේවාවන් පුළුල් කිරීම සඳහා ලොව පුරා නව අවධානයක් ඇති වී තිබේ. මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපනය (Early Childhood Care and Education (ECCE) යන්නට අධ්‍යාපනය හා ළමා රැකවරණය යන දෙකම ඇතුළත් වන අතර කුඩා දරුවන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ දෙමව්පියන්ගේ හෝ රැකබලා ගන්නන් සතු  හැකියාවන් ද ඊට ඇතුළත් වේ. ඵලදායි  මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපනයක් සැපයීම සඳහා මෙම සාධක දෙකම සලකා බැලිය යුතු බව මේ වන විට වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ. ළමා රැකවරණය සහ අධ්‍යාපනය, සාම්ප්‍රදායිකව එකිනෙකාගෙන් වෙන්වූ ක්ෂේත්‍රයන් ලෙස පැවතියත්, පවුල් සඳහා වඩාත් කාර්යක්ෂම මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපන සේවාවන් සැපයීම සඳහා මේ දෙක ඒකාබද්ධ කිරීමේ ප්‍රවණතාවක් පවතී. 

ශ්‍රී ලංකාවේ අනිවාර්ය වන ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය රජය නොමිලේ ලබා දෙයි. නමුත් අනිවාර්ය නොවන පෙර පාසල් අධ්‍යාපනය රජය නොමිලේ ලබා නෙදෙන අතර ප්‍රවේශය පිළිබඳවද විවිධ ගැටලු ඇත. එනිසා බොහෝ පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පුද්ගලික අංශය මඟින් ක්‍රියාත්මක කරන අතර ගාස්තු අය කිරීම හේතුවෙන් ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට මේ පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සදහා ප්‍රවේශ වීමට අවස්ථාව අහිමි වේ. ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමේ අනුපාතය පිළිවෙලින් සියයට 99 ක් සහ සියයට 84 ක් තරම් ඉහළ වේ. නමුත් වයස අවුරුදු 3-5 අතර පෙරපාසල් ළමුන් සඳහා මෙම අනුපාත 2016 දී සියයට 56.6 ක් විය

පවුලකට වියදම් දැරිය හැකි ළමා සුරැකුම් පහසුකම් පැවතීම රටේ ශ්‍රම බලකායට සෘජුවම බලපායි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉහළ අධ්‍යාපන මට්ටමක් ලඟා කරගෙන තිබියදීත්, රටේ කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය 2019 දී සියයට 34.5 ක් විය. අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (International Finance Corporation (IFC) විසින් කරන ලද 2018 අධ්‍යයනයකින් හෙළි වූයේ වයස අවුරුදු පහට අඩු දරුවෙකු සිටීම ශ්‍රී ලාංකික කාන්තාවකගේ ශ්‍රම බලකායට සහභාගී වීම සියයට 7.4 කින් අඩු කර ඇති බවයි.

එපමණක්ද නොව, ශ්‍රී ලංකාවේ ජනගහනය වයස්ගත වෙමින් පවතී - දැනටමත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන් වයස්ගත වන ජනගහනය සහිත රට බවට පත් වී ඇත - මෙහි දී පවුල් ව්‍යුහයන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස් වේ,  විස්තෘත පවුලෙන් ලැබෙන සහයෝගය අඩුවීම නිසා කුඩා දරුවන්ට නිවසේදී රැකබලා ගැනීමේ හැකියාව අඩු වන අතර ළමා රැකවරණය සඳහා ඇති ඉල්ලුම එම නිසා වැඩි වේ. 

අපට දක්නට ලැබෙන ශුභවාදී ප්‍රවණතාවක් නම්, ළමා රැකවරණය සඳහා සේවා යෝජකයන්ගෙන් ලැබෙන සහයෝගය වැඩි වීමක් දක්නට ලැබීමයි. නමුත් මෙම සහාය අවිධිමත් අංශයේ සේවය කරන දෙමාපියන්හට නොලැබෙන අතර එම අංශය තුළ 2019 වසරේ දී සියළුම කම්කරුවන්ගෙන් සියයට 57.4 කට රැකියා සපයා ඇත.


Image

Playing and learning… we grow together. Photo credit: Viraj Kanishka Madanayake (Photo was taken during pre-covid days.)


ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සේවා

2000 වර්ෂයේ සිට අනුප්‍රාප්තික රජයන් විසින් මුල් ළමාවිය සේවාවන් සඳහා ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. 2020 අගෝස්තු දක්වා කාන්තා හා ළමා කටයුතු හා සමාජ සේවා අමාත්‍යාංශය විසින් මෙහෙයවන ලද ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක මැදිහත්වීමෙන් රට සාම්ප්‍රදායිකව බහු අංශ ප්‍රවේශයකින් මෙම සේවාවන් ලබා දී ඇත. මීට අමතරව, ඔවුන්ගේ පළාත්වල පෙර පාසල් කළමනාකරණය සහ අධීක්ෂණය සඳහා නීති සම්මත කිරීමට පළාත් බලධාරීන්ට බලය ඇත.

බහුවිධ පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම සහ පරිපාලන ව්‍යුහයන් පිළිබඳ පැහැදිලි බව අඩුකම මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපන අංශයට විශාල අභියෝගයක් වී තිබේ. එය ප්‍රතිපත්තිමය සහයෝගීතාවය අවම වීමට හේතු වී ඇති අතර සම්පත් වෙන් කිරීමට ද  බලපෑම් ඇති කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කාර්යයන් එක් වරකට වඩා සිදුවීම අත්දකින සංසිද්ධියක් වේ. මෙය පෞද්ගලික අංශය සමඟ නියාමනය හා සම්බන්ධීකරණය සම්බන්ධයෙන් ඒකාකාරී ප්‍රමිතීන් සහ රෙගුලාසි බලාත්මක කිරීමේ දී  දුෂ්කරතා ඇති කරයි. 

2020 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සභාගත කරන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අනුමත කරන ලදී. 2020 අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සහ අමාත්‍යංශ ප්‍රතිසංවිධානය කිරීමෙන් පසු මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපනය, අධ්‍යාපන අමාත්‍යංශයට යටත් කරන ලද අතර කාන්තා හා ළමා කටයුතු හා සමාජ සේවා අමාත්‍යාංශය, රාජ්‍ය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍යාංශය ලෙස නම් කරන ලදී. 

මෙම ප්‍රතිසංවිධානය පිළිබඳ තොරතුරු මේ වන විට සාකච්ඡා වෙමින් පවතී. මෙම වෙනස්වීම් රටේ මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපනයෙහි ව්‍යුහය සැලකිය යුතු ලෙස වෙනස් කිරීමේ හැකියාවක් ඇති අතර මුල් ළමාවිය සේවාවන් නැවත ඇගයීමට හා ප්‍රතිසංවිධානයට මේ මගින් මග පෑදිය හැකිය. තවද පරිපාලන ව්‍යුහයේ වෙනස්වීම් නිසා එමඟින්  ළමයින් සහ දෙමාපියන් සඳහා මනාව  සම්බන්ධීකරණ කරන ලද  හා පුළුල් සේවා සැපයීමක්  සහතික කිරීමට  අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව පිළිබිඹු  කරයි.

ලොව පුරා රටවල් තම පුද්ගලික අවශ්‍යතාවයන්ට  හා අවස්ථාවන්ට සරිලන පරිදි ළමා සුරැකුම් හා අධ්‍යාපනය ඒකාබද්ධ කිරීමේ විවිධ මට්ටම් අනුගමනය කර ඇත. නිදසුනක් ලෙස පිනිලන්තය වැනි රටවල් ඒකාබද්ධ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමෙන් පෙර පාසල් හා ළමා ආරක්ෂණ මධ්‍යස්ථානවල වාසි එකට මුහු කරයි. 

අයර්ලන්තය වැනි තවත් රටවල් මෙම අංශ ඒකාබද්ධ නොකිරීමට කටයුතු කර ඇති අතර වඩාත් හොඳ සම්බන්ධීකරණයක හා සහයෝගීතාවය සඳහා යාන්ත්‍රණ හඳුන්වා දෙන අතරම වෙනම සේවාවන් සැපයීම සිදු කරයි. ඒකාබද්ධ කිරීම අනිවාර්යයෙන්ම එක් එක් රටවල විශේෂිත සමාජ සන්දර්භය තුළ අවබෝධ කර ගත යුතු අතර, ඒකාබද්ධ වීම සඳහා වූ එක් ව්‍යුහයක් සියලු පාර්ශ්වයන් විසින් අනුගමනය කිරීම කළ හැකි දෙයක් නොවනවා මෙන්ම එය සුදුසු නොවේ. 

2016 මුල් භාගයේ සිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ  මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපනය අංශයට සැලකිය යුතු සහායක් ලබා දී ඇත. රාජ්‍ය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍යාංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ලෝක බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය,   මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපන සේවාවන් සඳහා සමාන ප්‍රවේශයක් වැඩි දියුණු කිරීම සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරයි. 

ගුරු පුහුණුව සඳහා පහසුකම් සැලසීම, පහසුකම් වැඩිදියුණු කිරීම, ළමා සංවර්ධනය සඳහා තක්සේරු සකස් කිරීම, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා පොදු ලියාපදිංචි කිරීමේ රාමුවක් නිර්මාණය කිරීම සහ මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපන සේවාවන් සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් හඳුන්වා දීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමට අපේක්ෂා කරයි.

පරිපාලන ප්‍රතිසංවිධානය මඟින් ශ්‍රී ලංකාවට පූර්ණ හෝ අර්ධ වශයෙන් ඒකාබද්ධ කිරීමේ වාසි සහ අවාසි තක්සේරු කිරීමට කදිම අවස්ථාවක් ලබා දෙනු ඇති අතර, ඒකාබද්ධ වීමේ අංගයන් රටේ මුල් ළමාවිය සේවාවන් සඳහා ප්‍රවේශය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට උපකාරී වන්නේ කෙසේද යන්න සලකා බැලිය හැක. 

මෙය ශ්‍රී ලංකාවේ  මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපන අංශයට තීරණාත්මක කාල පරිච්ඡේදයකි. කැපවූ රජයක් සහ සංවර්ධන සහයෝගීතා ක්‍රියාත්මක වීමත් සමඟ ප්‍රගතිය සඳහා කාලය එළඹ ඇත.



Api
Api