Skip to Main Navigation
Results Briefs 2020, ජූනි 23

ශ්‍රී ලංකාව සෞඛ්‍යමත් දේශයක් බවට පත්කිරීම


2015 දෙසැම්බර් මස සිට, ජල සම්පාධන සහ සනීපාරක්ෂණ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (WaSSIP) විසින් ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂාව වෙත ප්‍රවේශය පුළුල් කිරීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 7ක නාගරික, ග්‍රාමීය සහ වතුකර ප්‍රදේශවල ආසන්න වශයෙන් මිනිසුන් 700,000 ක සනීපාරක්ෂක චර්යාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනු ලබයි.

අභියෝගය 

වැඩි දියුණු කරන ලද පානීය ජලය සහ සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය, පිළිවෙලින් ජනගහණයෙන් සියයට 95ක් සහ 96ක් දක්වා ඉහළ නංවමින්, සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් අත්පත් කර ගනිමින්, ශ්‍රී ලංකාව විසින් ජල සැපයුම හා සනීපාරක්ෂණ අංශයේ විශාල පියවරන් තබා ඇත. පිරිපහදු කළ නළ ජලය සැපයීම සහ ගෘහස්ත මට්ටමින් ආරක්ෂිතව කළමනාකරණය කරන ලද  සනීපාරක්ෂාව පුළුල් කිරීමත් සමඟ තිරසාර සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීම ශ්‍රී ලංකාවට තිබෙන මීළඟ අභියෝගයයි. යමක් වැරදි ආකාරයට සිදු වන විට වහාම, යටිතලපහසුකම් සහ උපකරණවල නඩත්තු කටයුතු සිදු කිරීමට මෙන්ම, පද්ධතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් පරිදි මුදල් තිබිය යුතු වීම, තිරසාරකත්වය තහවුරු කිරීමෙන් අදහස් කෙරේ. කොවිඩ් - 19 අර්බුදය විසින් සියලු කාලයන්හි දී මිනිසුන් හට යහපත් සනීපාරක්ෂණ චර්යාවන් ක්‍රියාවට නැංවීමට මෙන්ම, ආරක්ෂිත පානීය ජලය, මනා පිරිසිදු සනීපාරක්ෂණ පහසුකම් කෙරෙහි තිබෙන අවශ්‍යතාව සවි ගන්වනු ලැබ ඇත. 

 

ප්‍රවේශය 

WaSSIP යනු 1998 වර්ෂයේ පටන් පානීය ජලය සහ සනීපාරක්ෂාව සැපයීම සඳහා ලෝක බැංකුව විසින් මූල්‍යයනය කරන ලද තෙවන ව්‍යාපෘතිය යි. නව ජල සැපයුම් පද්ධති ඉදි කිරීමට, පවතින ජල සැපයුම් පද්ධති පුනරුත්ථාපනය කිරීමට, නිවාස සහ පාසල් සඳහා වැසිකිළි මෙන්ම, අපද්‍රව්‍ය රැස් කර දිරාපත් මළාපවහන පවිත්‍රාගාර ඉදිකිරීමට මෙම ව්‍යාපෘතිය විසින් මූල්‍යනය කරනු ලැබේ. තිරසාරකත්වය තහවුරු කිරීම පිණිස මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සහ නඩත්තු කිරීමට දේශිය ප්‍රජාව පදනම් කොට ගත් සංවිධාන පුහුණු කොට ඇත. සෑම නිවසක්ම ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම සහ ප්‍රතිස්ථානගත කිරීමේ පිරිවැයන් ආවරණය කළ හැකි ගාස්තුවක් ගෙවීමට එකඟ වී  ඇත. රටේ සියලු ග්‍රාමීය ජලසැපයුම් පද්ධති පිළිබිඹු කරන පරිගණක දත්ත ගබඩාවක් සංවර්ධනය කෙරිණි. රටෙහි පවතින ප්‍රජාව පදනම් කොට ගත් සියලු සංවිධාන නිරීක්ෂණය කිරීමට මෙන්ම, ඔවුනට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තුමේන්තුව විසින් නියාමනය කිරීමට මෙම දත්ත ගබඩාව භාවිත කරනු ඇත. යටිතල පහසුකම්වල තිරසාරකත්වය අනාගත කරා සහතික කිරීම පිණිස, මෙම ව්‍යාපෘතිය මඟින් ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය (NWSDB), ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තුමේන්තුව (Department of National Community Water Supply) මෙන්ම, වැවිලි මානව සංවර්ධන භාරය (Plantation Human Development Trust ) වැනි  රාජ්‍ය ආයතනයන්හි ආයෝජනය කෙරේ. දේශය සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීමට, ජල සැපයුම් සහ සනීපාරක්ෂාවේ සියලු අනාගත ආයෝජන සඳහා මාර්ග සිතියමක් වීමට අංශ ආයෝජන සැලැස්මක් සංවර්ධනය කෙරිණි. 

 

ප්‍රතිඵල 

2019 දෙසැම්බර් මස වන විට ව්‍යාපෘතිය විසින් පහත දැක්වෙන කර්තව්‍යයන් ද සිදු කොට ඇත. 

 

  • නිවාස 11,869කට ප්‍රතිලාභ සලසන නව ග්‍රාමීය ජල සැපයුම් යෝජනා ක්‍රම 39ක් සම්පූර්ණ කිරීම. ( එමෙන්ම තවත්  ජල සැපයුම් යෝජනා ක්‍රම 64ක් මේ වනවිට ඉදිකෙරෙමින්  පවති )  
  • නිවාස 1826ක්  සම්බන්ධ කරන වැවිලි ජල සැපයුම් යෝජනා ක්‍රම හතක් සම්පූර්ණ කිරීම.   (එමෙන්ම තවත් ජල සැපයුම් යෝජනා ක්‍රම 06 ක් මේ වනවිට ඉදිකෙරෙමින් පවති )  
  • පද්ධති පුනරුත්ථාපනය කිරීම් 73ක් සම්පූර්ණ කිරීම. 
  • පුද්ගල වැසිකිළි 12,033ක් සම්පූර්ණ කිරීම. ( එමෙන්ම තවත් පුද්ගල වැසිකිළි  9,450ක් ඉදි වෙමින් පවති) 
  • ඔසප් සනීපාරක්ෂණ පහසුකම් ඇතුළු වැඩි දියුණු කරන ලද සනීපාරක්ෂණ පහසුකම් සහිත පාසල් අටක් සැපයීම. 
  • වතුකර ප්‍රදේශවල කාන්තාවන් 80%ක් සහ සහභාගිකරුවන් 11,382ක් සමඟ ග්‍රාමීය ප්‍රදේශවල ඉන් 64%ක කාන්තාවන් වීමත් සමඟ, ප්‍රතිලාභින් 83,312කගේ සහභාගීත්වය ඇතිව, සනීපාරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන් 578ක් මෙතෙක් දුරට පැවැත්වීම.  

 

ලෝක බැංකුවේ දායකත්වය 

ඩොලර් මිලියන 5ක ශ්‍රී ලංකා රජයේ දායකත්වයෙන් සහ ඩොලර් මිලියන 13.9ක දේශීය ප්‍රජා දායකත්වයන් සමඟ හා එක්ව, සම්පූර්ණ ව්‍යාපෘති පිරිවැය වන ඩොලර් මිලියන 183.9ක මුදලින් ඩොලර් මිලියන 165ක ණය මුදලක් ජාත්‍යන්තර සංවර්ධන සම්මේලනය (IDA) මගින් මූල්‍යනය කෙරේ.  

 

හවුල්කරුවන් 

ව්‍යාපෘතිය මඟින් පහත හවුල්කරුවන් එකට එක් කෙරේ. 

  • නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය  
  • ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය (NWSDB)   
  • ජාතික ප්‍රජා ජලසම්පාදන දෙපාර්තුමේන්තුව (DNCWS) 
  • වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) 

 

ඉදිරියට ගමන් කරමින් 

WaSSIP යනු රටෙහි ග්‍රාමීය සහ වතුකර ප්‍රදේශවලට පිරිපහදු කළ නළ ජලය ව්‍යාප්ත කරන එකම ව්‍යාපෘතිය යි. ජාතික ප්‍රජා ජලසම්පාදන දෙපාර්තුමේන්තුව සහ ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය යන ආයතනවලින් තාක්ෂණික සහය ඇතිව, ප්‍රජාවන් හට ඔවුන්ගේ ස්වකීය පද්ධති ක්‍රියාත්මක කිරීමට සහ නඩත්තු කිරීමට හැකියාව ඇති බව ව්‍යාපෘතිය විසින් පිළිබිඹු කොට ඇත. ව්‍යාපෘතිය විසින් ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය ශක්තිමත් කිරීමට සහය ලබා දී ඇති අතර, වතුකර ප්‍රදේශ සඳහා වැවිලි මානව සංවර්ධන භාරයට මෙන්ම, එහි නළ ජල ආවරණය නාගරික ප්‍රදේශවල පුළුල් කිරීමට සහය දක්වා ඇත. රටෙහි ජල සම්පාදන සහ සනීපාරක්ෂණය වෙත විශ්වීය ප්‍රවේශයක් කරා ළඟා වීමට අඛණ්ඩව ක්‍රියා කළ හැකි, සේවා ලබා දීමේ සාර්ථක ආදර්ශකයක් මෙම ව්‍යාපෘතිය මඟින් නිරූපණය කෙරේ. 

ප්‍රතිලාභීන් . 

කෑගල්ග දිස්ත්‍රික්කයේ දෙයියන්වෙල ප්‍රජාව පාදක කොට ගත් සංවිධානයේ සක්‍රීය සාමාජිකයෙකු වන මේනකා

මේනකා පස් දෙනෙකුගෙන් යුත් පවුලේ එක් අයෙකි. එම පවුල පිරිසිදු ජලය සඳහා පිවිසීමක් නොමැතිව දිගු කලක් පීඩා විඳ ඇත. ඇගේ පවුලේ මූලික සේදුම් සහ පිරිසිදු කිරීමේ අවශ්‍යතා සඳහා ජලය රැස් කර ගැනීම ඇගේ නිවසේ සිට මීටර 500ක පමණ ඇවිද යා යුතු දුෂ්කර කටයුත්තකි. ඇතැම් දිනවල ඇයට උදෑසන ස්නානය පවා ලබා ගැනීමට නොහැකි වූ බව ඇය පැවසුවාය. කෙසේවෙතත්, ජලාගාරය සංවර්ධනය කිරීමත් සමඟ මේනකා සහ ඇගේ පවුලට දැන් නිවසේ දී ම පිරිසිදු ජලය සඳහා ප්‍රවේශය හිමි වී ඇත. 

 

මොණරාගල දිස්ත්‍රික්කයේ බෙල්ලන්ඔය ප්‍රජාව පාදක කොට ගත් සංවිධානයේ සභාපති, තුෂාර ප්‍රදීප් කුමාර

ගෝලීය කොවිඩ් - 19 වසංගතයට මුහුණදීමට සිදුවීමත් සමඟ, ජලාගාරයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් නියාමනය කරන ලද ප්‍රජා-පාදක කොට ගත් සංවිධානය විසින් නිවාස සඳහා ජලය සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ද රැගෙන ඇත. මිනිසුන් එක්රැස් වීම අවම කිරීමේ ප්‍රයත්නයක් ලෙස, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලද ඉල්ලීමක දී මෙම ප්‍රදේශ සඳහා මෙය ආරම්භ කොට ඇත.  වසංගතය පැතිරීමේ වක්‍රය සමතලා කිරීමට (flatten the curve) පමණක් නොව, ප්‍රජාව අතර යහපත් සනීපාරක්ෂණ පුරුදු කෙමෙන් ඇති කිරීමට ද එමඟින් විශාල සහයක් ලබා දී තිබේ. 

මොණරාගල දිස්ත්‍රික්කයේ සොරණතොට වසමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක වන ආර්. ඒ තිලකාවතී

ජලය සත්‍ය වශයෙන්ම අවශ්‍යතාවක්ව තිබෙන මොනරාගල දිස්ත්‍රික්කයේ සොරණතොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත කාලයක පටන් බවුසරවලින් ජලය රැගෙන පැමිණ ඇත.  ජල බවුසර වෙනත් පෙදෙසකට ගෙන ගිය දිනවල දී, වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ වෛද්‍ය කටයුතු සිදු කරගෙන යාම සඳහා ජලය සොයමින් අසල නිවාසවලට යෑමට සිදුවී ඇත . සමහරක් අවස්ථාවලදී, ජලයේ හිඟබව හේතුවෙන්, ඔවුනට සැත්කම් අවලංගු කිරීමට නැතහොත් කල් දැමීමට සිදුවී ඇත . කොවිඩ් - 19 තත්ත්වයත් සමඟ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සංවිධානවලට ජලය ලබා ගැනීමට ඇති හැකියාව උදා කිරීමට සිදු විණි. කාර්ය මණ්ඩලය ජල සැපයුම හඳුන්වන්නේ ඔවුන්ගේ හිරහැරයන් සැහැල්ලු කරන ලද “ආශිර්වාදයක්” ලෙසිනි.