Skip to Main Navigation
කථා සහ පිටපත් 2018, මාර්තු 8

මී ළඟට සිදු කළ යුත්තේ කුමක් ද? විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත විෂයයන් තෝරා ගැනීම පිණිස යෞවනියන් උනන්දු කිරීම පිළිබඳ සාකච්ඡාව.

සුභ සන්ධ්‍යාවක් නෝනාවරුනි මහත්වරුනි, ගෞරවනීය ආරාධිත අමුත්තනි, මවුවරුණි, ආදරණීය දියණියනි!

ම‍ෙය මා ශ්‍රී ලංකාවේ දී ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ද‍ෙවන වසර. සෑම වසරකම විවිධ කාන්තා දින වැඩසටහන් සඳහා සහභාගී වීමට ලෝක බැංකුවට ආරාධනා ලැබෙනවා. නමුත් මාහට ශ්‍රී ලාංකික මවුවරුන් හා දියණියන් හමු වීමට අවස්ථාවක් ලැබ‍ෙන බව දැනගත් විටම මම එම ආරාධනාව පිළිගත්තේ හද පිරි සතුටින්. ශ්‍රී ලංකාවේ අනාගතය‍ෙහි යතුර දරා සිටින ම‍ෙම සුන්දර තරුණ කණ්ඩායම හමුවීමට කළ ආරාධනයට සහ ඉඩ ප්‍ර‍ස්ථාව ලබා දීමට මයික්රොසොෆ්ට් කණ්ඩායමට, බොහොමත් ම ස්තුතියි.

මම මේ ඔබ ඉදිරිපිට සිටග‍ෙන සිටින්නේ දූවරුන් ද‍ෙද‍ෙන‍ෙකුගේ මවක් හැටියටයි. ඉන් එක් අය‍ෙක් දැනටමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින අතර අන‍ෙක් දියණිය සිටින්නේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම පිණිස නිවස‍ෙන් පිටත් වීමට සූදානමින්. මාගේ දරුවනුත් ඔබ ම‍ෙන් ම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල රැකියාවන් ගැන සිහින දකිමින් ඉන්නවා. මමත්, ම‍ෙම ශාලාවේ වාඩි වී සිටින බොහෝ අම්මලා වගේම එක වෙලාවක බියපත් වෙන්නට පටන් අරන් තිබුණා. ඇයට ආරක්ෂාවක් තිබේවි ද? ඇය විශ්වවිද්‍යාලයට කැමති වේවි ද? ඇයට ගෙදරට කතා කරන්නත්, ඒ වගේම නිවාඩුවට ග‍ෙදර එන්නටත් මතක් වේවි ද? ඒ වුණත් ඇයත් මම හිතන ආකාරයටම වැඩ කරන්න ඕනෑ ද කියන ප්‍ර‍ශ්නය මම ඇහුවේ නැහැ. දුවයි, අපියි, පසුගිය වසර 18 පුරාවටම වැඩ කළා. මේ පාසල් අධ්‍යාපනය කෙළවර කළායින් පසු පිටව ගොස් ශ්‍රම බලකාය තුළ තම ස්ථානය දිනා ඵලදායී ස්ත්‍රියක් වීම පිණිස වන ඇයගේ වාරයයි!

ම‍ෙහි සිටින සෑම අම්මා කෙනෙකුටම ම‍ෙන්  මටත් මාගේ දූවරු තම ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය දකින්නට සිහිනයක් තිබෙනවා. ද‍ෙමාපියන් විදියට වගේම ඔවුන්ගේ අනාගතයේ භාරකරුවන් හැටියටත් ඔවුන් උපන් දවසේ පටන්ම පරමාදර්ෂී චරිත වීමේ වගකීම‍ෙන් අප බැඳී ඉන්නවා. තාත්තලාත් මේකට අයිතියි. ඒත් අද දවස දූවරුන් සහ ඔවුන්ගේ මවුවරුන් ව‍ෙනුව‍ෙන්.

තම ජීවිතය‍ෙහි සාර්ථකත්වය ළඟා කරගත් කාන්තාවන්, විශේෂය‍ෙන් ම විද්‍යා ක්ෂේත්‍රයෙහි වෘත්තීන් විෂයයෙහිදී එය සිදු කොට ඇත්තේ විද්‍යාවට ඇති ආදරය, දැඩි ල‍ෙස වැඩ කිරීම, ස්වයං විනය සහ දැඩි ආත්ම ශක්තිය නිසයි. මගේ කතාවේදී නම් මාගේ ද‍ෙමවුපියන් නොවන්නට මට එය කළ නොහැකි වනු ඇති. මගේ අම්මා මට සැම විටකම ප‍ෙන්වා දුන්නේ සාර්ථකත්වය යනු උපයා ගත යුතු ද‍ෙයක් බවයි.  අම්මා විසින් යොදන ලද ම‍ෙම පීඩනය නිදහස් කළේ මගේ තාත්තා. නමුත් වැදගත්ම දේ, මම මටම යොදාගත් පීඩනය නිසා මට තළ හැකි උපරිමය කිරීමට තිබූ ආශාවට පණ පෙව්වා. ඒත් එක්කම මට උපදේශකයින් ද සිටියා.

 ඉතින් මේ හැන්දෑවේ මම ඔබ ඉදිරියේ ඔල්වරසන් නගන කණ්ඩායමක නායිකාවක් හැටියට, දැනුම හුවමාරු කරන්න‍ියක් සහ උපදේශකවරියක හැටියට සිටග‍ෙන ඉන්නවා. මම මේ අවස්ථාව ගැන සිතා මම සහ මාගේ පවුල ගැන යමක් කිව්වා; නමුත් ඒ කරුණක් මතු කරගැනීම ව‍ෙනුව‍ෙන් විතරයි. ම‍ෙම සන්ධ්‍යාව ම‍ෙම ශාලාවේ සිටින යොවුන් තරුණියන් වන ඔබ ව‍ෙනුව‍ෙන්. එනම්, ගැහැණු ළමුන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, සහ ගණිතය යන අංශවල රැකියාවන් ලබා ගැනීම සඳහා උනන්දු කිරීම හා සැමරීම පිණිස යි. මම නිතර ම ගැහැණු ළමුන්ට කියන්නේ ඔබ ම‍ෙම විෂයයන්ට දක්ෂයින් වේ යැයි ඔවුන් නොසිතූවත් ඔබ සිය දෛනික ජීවිතය තුළ මේවා භාවිත කරන බවයි. සුපිරි ව‍ෙළඳසලක් තුළ අයෙකු අයකැමියාට මුදල් ග‍ෙවන විට ඔහු හෝ ඇය නොදැනුවත්ව ම තමාට ලැබිය යුතු ඉතිරි මුදල ගණනය කරනු ලබනවා. ම‍ෙය ගණිත සිතිවිල්ලක්. වෛද්‍යවරයා විසින් ඖෂධ නියම කර තිබ‍ෙන අවස්ථාවක යම් අය‍ෙකු එහි අඩංගු රසායනික මූල ද්‍ර‍ව්‍ය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් අන්තර්ජාලයට ගොස් අධ්‍යයනයක් සිදු කිරීමට තීරණය කරයි නම් එය ද  විද්‍යා සිතිවිල්ලක්. විචාරාත්මක චින්තනය සහ ගැටලු විසඳීමේ හැකියාව ස්ට‍ෙම් හි හරය යි. මම විශ්වාස කරන අන්දමට එක්තරා මට්ටමකට අප සියලු ද‍ෙනා ම අත්‍යන්තය‍ෙන් ම විද්‍යාඥයන්, තාක්ෂණවේදීන්, ඉන්ජිනේරුවරුන් හා ගණිතඥයන් වෙනවා. ම‍ෙම ශාලාවේ සිටින තරුණ දූවරුන් විශේෂ වන්නේ ඔබ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, සහ ගණිතය යන විෂයයන් (STEM - ස්ට‍ෙම් විෂයයන්) ඉහළ උපාධියකට හැදෑරීම නිසයි.

වසර 20කට ප‍ෙර තාක්ෂණය අද පවතින තත්ත්වය ම‍ෙන් වේ යැයි කවුරු නම් උපකල්පනය කරන්නට ඇත් ද?  දුරකතනය උදාහරණයට ගනිමු. ඔබගේ අසල්වැසියා ඉතා වැරදි ල‍ෙස පාර්ටි ලයින්(Party Line) යනුව‍ෙන් හඳුන්වන ක්‍ර‍මය හරහා නිහඬවම ඔබගේ කතා බහට ඇහුම්කන් ද‍ෙන උපකරණයක් බවට දුරකතනය පත් වේ යැයි කවුරු නම් උපකල්පනය කරන්න ද? අදටත් නව සහස්‍රයේ දරුවන් වූව ද ඔබ අතරින් බොහෝ ද‍ෙන‍ෙකු ඒ පිළිබඳ නොදන්නා බවට මම දනිමි. දුරකතනය යන්න බිත්තියේ සවි කරන කුඩා ප‍ෙට්ටියක් බවට පරිණාමනය වී ඇති අතර එමගින් ඔබව, ඔබගේ පවුළේ අය හා මිතුරන් සමග හඬ නියෝගයකින් සම්බන්ධ කෙරෙනු ඇත. එම ප‍ෙට්ටියට ඕනෑම මොහොතක, ඔබ කිසිම විටක වාසය කොට නැති හෝ බොහෝ විට අසාවත් නැති,  මහපොළොවේ දුරස්ථම තැනකට ඔබේ පුවත් ලබා දිය හැකි ය. ම‍ෙය බිහිවූයේ යම් අය‍ෙකු ඒ ගැන සිහින මැවූ නිසාත්, යම් අය‍ෙකු මේ සඳහා උත්සුක වීමට තරම් උද්‍යෝගීමත් වූ නිසාත් ය. අසාර්ථකතාවන් කිහිපයක් ඔවුන්ගේ සිහිනය බිද දැමුවේ නැත.

තරුණ දියණිවරුනි! හ‍ෙට දිනය‍ දකින්නා වූ පිරිස ඔබයි. ඔබට ව‍ෙනස් කොට ඇමතීමට කිසිව‍ෙකුටත් ඉඩ නොතබන්න. ඔබගේ සිහිනවලට, විචාරාත්මක චින්තනයට, විශ්ලේෂණාත්මක කුතුහලයට නිදහසේ සැරිසරන්නට ඉඩ හරින්න. ඔබ ළඟා කරගන්නා දේ ඔබ පුදුමයට පත් කරවනු ඇත. මාරි කියුරි රේඩියම් සොයා ගන්නා විට දී වෛද්‍ය විද්‍යාවට සහ මිනිස් ජීවිතවලට ම‍ෙතරම් බලපෑමක් ඇය නිසා සිදු වේ යැයි ඇයවත් නොසිතන්නට ඇත.

මගේ දියණියන් දෙදෙනා විද්‍යා විෂයයන් සිය අනාගතය ල‍ෙස තෝරා ගනිද්දී ඊට අකමැති වූ මම ඔවුන්ව වෛද්‍ය විද්‍යාව හෝ ස්නායු විද්‍යාව හැදෑරීමට උනන්දු කළෙමි. මම සහ මගේ සැමියා විද්‍යා විෂයයන් ආශ්‍රිත වටපිටාවක් ඇත්තන් ල‍ෙස අපගේ දූවරුන් දෙදෙනා ඉන් පිටත ලෝකයට විවෘත කිරීමේ මහත් ආශාවක් අප තුළ තිබිණ. අපට ඔවුන් විචාරාත්මකව සිතන්නේ කෙසේ ද යන්න දැන ගැනීමට අවශ්‍ය විය. අපි පවුලේ චාරිකාවන්වලදී උද්භිද උද්‍යාන ව‍ෙත රැග‍ෙන ගිය‍ෙමු. එහි දී ඔවුන්ට දළඹුවන් සමණළයින් බවට පරිවර්තනය වන අයුරු දැකබලා ගත හැකි විය. අපි දුම්රිය චාරිකාවන්හි ය‍ෙදුණු අතර එහි දී දුම්රිය‍ෙහි රෝද සහ රේල් පාර සම්බන්ධ වන අයුරු දැකීම‍ෙන් දුම්රිය ක්‍රියාත්මක වන්නේ ක‍ෙසේ ද යන්න පිළිබඳ ඔවුන්ට යමක් අවබෝධ විය. අපට දැඩි ල‍ෙස ම අවශ්‍ය වූයේ ලෝකය විද්‍යාව මතින් දිව‍ෙන්නේ ය යන්න ඔවුන්ට ප‍ෙන්වා දීමටයි. මා සාංකාව‍ෙන් පසුවන්නේ ම‍ෙම ශාලාවේහි සිටින ද‍ෙමාපියන් වන  ඔබ ඔබගේ දරුවන්ට ඔබගේ ම ගමන් මාර්ගයක් තනන්නේ ද,  ඔවුන්ගේ කුතුහලය ගොඩනගන්නේ ද සහ උපකාරයක් අවශ්‍ය අවස්ථාවේ දී එය ලබා ද‍ෙන්නේ ද යන්නයි.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය තුළ පුරුෂයන් ඉක්මවා හමුවන්නේ කාන්තාවන් ය; නමුත් ඔබ එහි සංඛ්‍යාවන් විමසා ගණනය කර බැලුවහොත් පෙනී යනු ඇත්තේ ගැහැණු ළමුන් ප්‍ර‍මාණවත් පරිදි ස්ට‍ෙම් විෂයයන්(STEM) තෝරා නොගන්නා බවයි. තව දුරටත්, වැටුප් සහිත රැකියාවන්හි නිරතව සිටින්නේ ද කාන්තාවන් අතලොස්සකි. අන‍ෙක් අතට, උපතේ දී වන ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති අතර එය පිළිව‍ෙලින් ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ  වසර 78ක් හා 72ක් ල‍ෙස දක්වා තිබේ. එළඹ‍ෙන දශක කිහිපය තුළ ජනගහණය‍ෙන් විශාල සංඛ්‍යාවක් වයස අවුරුදු 60 ඉක්ම වූවන් බවට පත් වනු ඇත. ශ්‍රී ලංකාව පොහොසත් වීමට ප්‍ර‍ථමය‍ෙන් වියපත් වීමට නියමිත ය. ම‍ෙම ප්‍ර‍ජා විද්‍යාත්මක කරුණු තව දුරටත් පවුල් ජීවිතවලට සහ ශ්‍රම බලකායේ කොටසක් වීමට කාන්තාවන්ට ඇති අවස්ථාවන්ට බලපෑම් කරයි. ම‍ෙම උන්නතිය සංවරණය නොවීම යනු අනිවාර්යය‍ෙන් ම ඉතිරිකිරීම් අවම වීම නිසාව‍ෙන් වඩාත් ජ්‍ය‍ෙෂ්ඨ පුරවැසියන් දිළිඳු බවට පත් විමයි.

වියපත් වීමේ උන්නතිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවූවක්. ජපානයේ සහ යුරෝපයේ සමහර රටවල්වලද වියපත් වීමට සාපේක්ෂව ප‍ෙන්නුම් කරන්නේ අඩු උපත් ප්‍ර‍මාණයකි. ම‍ෙය පිරිමසාලීම ව‍ෙනුව‍ෙන් ඔවුන් තම ජනගහණය කුසලතා සම්පන්න කරන අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තාක්ෂණය උද‍ෙසා ආයෝජනය කරයි. ශ්‍රී ලංකාව තෝරා ගත යුතු ගමන්පථය ම‍ෙයයි. ඔබ ශ්‍රී ලංකාවේ අනාගතයයි. ඉතින්, ඔබ ක‍ෙතරම් උද්යෝගීව සහ උනන්දුව‍ෙන් පසුවන්නේ ද? ම‍ෙවර කාන්තා දින වැඩසටහනට සහ ‘#දියුණුව පිණිස වැඩ කරමු’ (#PressforProgress) වැඩසටහනට ප්‍ර‍තිචාර දැක්වීමට ඔබට ක‍ෙතරම් කැමැත්තක් තිබ‍ෙනවා ද?

ලෝක බැංකුව‍ වන අප ‘#දියුණුව පිණිස වැඩ කරමු’ (#PressforProgress) හා සම්බන්ධ වීමට දැඩි කැමැත්ත‍ෙන් පසුවන අතර කාන්තාවන් වැඩි වශය‍ෙන් ආරක්ෂිත සහ සාධාරණ රැකීයාවන්හි නිරත වනු දැකීමට ද බලාපොරොත්තු ව‍න්නෙමු. එම‍ෙන් ම ඔබට ද අප හා එක්වීමට ආරධනා කරමු. අප මයික්රොසොෆ්ට් ඇතුළු සමාන සංවිධාන විසින් ඩිජිටල් වේදිකාවන් තැනීම තුළින් පාසල්වලට ස්වයං ඉගැනුම් පද්ධති ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත ව‍ෙමු. ස්මාර්ට් පාසල් සංකල්පය සිසුන්ගේ ඉගැනුම් ප්‍ර‍තිඵල වර්ධනය කිරීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ඇසුර‍ෙන් සිදු කරන්නේ ක‍ෙසේද යන්න මා කියවූයේ උනන්දුවෙනි. අද වන විට  ද‍ෙමවුපියන් හා ගුරුවරුන්ගේ භූමිකාවන් ව‍ෙනස් ව‍ෙමින් පවතින අතර තාක්ෂණය වේගවත්ව පැතිර යාම හේතුවෙන් අපට දරුවන්ට සියල්ල පන්ති කාමරය තුළ උගැන්වීමට නොහැකි පසුබිමක් ගොඩ නැගී ඇත.  නමුත් අපට ඔවුන්ට අවශ්‍ය නිපුනතාවය සහ ම‍ෙවලම් ලබා දිය හැකි අතර එය ඔවුන්ට ස්වයංව හැදෑරීමටත්  යාවත්කාලීන වී සිටීමටත් හැකි කරවනු ඇත. සිසුන්, ගුරුවරුන්, ද‍ෙමවුපියන් සහ පාසල් ප්‍ර‍ජාව ල‍ෙස ව‍ෙනසක් සිදු කිරීමට අපගේ පාලනය යටතේ සිදු කළ හැකි එක් ද‍ෙයක් ල‍ෙස ම‍ෙය දැක්විය හැකි ය.

අපගේ ඉතා උද්යෝගීමත් තරඟාවලියක් වන ‘ඔබගේ පරමාදර්ෂ චරිතය කවු ද?‘ යන්න හා ඔබ සම්බන්ධ වනු ඇතැයි මම බලාපොරොත්තු ව‍ෙමි. ම‍ෙය ඔබගේ මව, ඔබගේ ගුරුවරිය හෝ ඔබව ජීවන මාර්ගය තුළ ඉදිරියටම යෑම පිණිස දිරිමත් කළ හා උනන්දු කළ ව‍ෙනත් අය‍ෙක් පිළිබඳ විය හැක.

ඉතින්; ම‍ෙම අවස්ථාව‍ෙහි සංවිධායකයන්ට ස්තුති කරමින්, මයික්රොසොෆ්ට් සමාගමට ම‍ෙම අවස්ථාව නිර්මාණය කිරීම ව‍ෙනුව‍ෙන් සහ ‘දියුණුව පිණිස වැඩ කරමු’ (#PressforProgress) සඳහා දක්වන දායකත්වය ව‍ෙනුව‍ෙන්  ස්තුතිවන්ත ව‍ෙමින් ම‍ෙහි නිමාව සනිටුහන් කිරීමට අවසර ද‍ෙන ම‍ෙන් ඉල්ලා සිටිමි.  ම‍ෙහි සිටින සියලූම තරුණ කතුන්ට සහ ඔවුන්ගේ මවුවරුන්ට විශේෂ ස්තුතිය ඵල කරන්නේ ඔවුන්ගේ සහභාගීත්වය වෙනුවෙන් පමණක් නොව මෙම අවස්ථාවට නිසි අර්ථයක් ලබා දුන් නිසා ය. ස්ටෙම් කතුන් දිනේවා!

සුභ කාන්තා දිනයක් වේවා!

ස්තුතියි!

Api
Api