Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2021, ජූලි 5

ලෝක බැංකු අරමුදල් මගින් ලබාදෙන කොවිඩ් 19 එන්නත්වල පළමු තොගය ශ‍්‍රී ලංකාවට ලැබේ

කොළඹ, 2021 ජුලි 5 - කොවිඩ් 19 වැළැක්වීම සඳහා වූ ෆයිසර් එන්නත් තොගයක් අද කොළඹට ළඟාවු  අතර, මෙම පළමු කාණ්ඩයට අයත්  එන්නත් මාත‍්‍රා 800,000 ක් ඉදිරි සති කිහිපය තුළදී ලැබීමට නියමිතය. 2021 දෙසැම්බර් වන විට, ශ‍්‍රී ලංකාවේ කොවිඩ් 19 හදිසි ප‍්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ලෝක බැංකු  ව්‍යාපෘතියේ  අරමුදල් භාවිතයෙන්  ශ‍්‍රී ලංකා රජය  එන්නත් මාත‍්‍රා මිලියන පහක්   ලබා ගැනීමට නියමිතව ඇත.

ශ‍්‍රී ලාංකිකයින් වෙනුවෙන් ආරක්ෂිත හා ඵලදායී එන්නත්කරණය සඳහා සාධාරණ ප‍්‍රවේශයක් සහතික කිරීමට ශ‍්‍රී ලංකා රජය සහ එහි පාර්ශවකරුවන්ගේ ඒකාබද්ධ වැඩකටයුතු මෙම පළමු එන්නත් තොගය ලබාදීම මගින් සංකේතවත් වනවා යැයි” යැයි මාලදිවයින, නේපාලය සහ ශ‍්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් එච්. හදාද් -සර්වෝස් පැවසීය.” තවත් එන්නත් වර්ග ගණනාවක් පිළිබඳ ඇගයීම් කරමින් සිටින අතර වසර අවසානයේදී ඒවාද හඳුන්වාදෙනු ඇත.”

ශ‍්‍රී ලංකාවේ කොවිඩ් 19 වැළඳුනු පළමු රෝගියා 2020 මුල් භාගයේදී තහවුරු වීමේ සිට, ශ‍්‍රී ලංකාව වසංගතය සාර්ථකව කළමනාකරණය කර ඇති නමුත් මේ වනවිට කොරෝනා වයිරසයේ තුන්වන රැල්ලට මුහුණ දී සිටී. ප‍්‍රමුඛතාගතකළ හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා ලෝක බැංකුව මගින් ලබාදුන් සහයෝගය ශ‍්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවයට හා රෝගී ප්‍රතිකාර සේවාවන්ට අනාගතයේදී වසංගතය නිසා ඇතිවිය හැකි හදිසි තත්ත්වයන්ට / කම්පනවලට වඩාත් විධිමත්ව ඔරොත්තු දීමට උපකාරී වනු ඇත.

මේ දක්වා ලෝක බැංකුව විසින් ලබා දී ඇති සහාය මගින් අණුක ජීව විද්‍යාගාර පිහිටුවීම, අත්‍යවශ්‍ය රසායනාගාර හා ජෛව වෛද්‍ය උපකරණ සැපයීම වැනි පහසුකම් ඔස්සේ ශ‍්‍රී ලංකාවේ පී.සී.ආර්.(PCR) පරීක්ෂණ ධාරිතාවය තවදුරටත්  ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.එමෙන්ම, දිස්ත‍්‍රික් මට්ටමේ පිහිටු වීමට නියමිත ඔක්සිජන් උත්පාදන යන්ත‍්‍රාගාර හරහා රෝගීන්ට ඔක්සිජන් සැපයීම සහතික කරමින් රෝහල් ගණනාවක ප‍්‍රතිකාර කිරීමේ ධාරිතාව ද වැඩි දියුණු කරනු ඇත. තවද, ද්විතීයික හා තෘතීයික රෝහල්වල රෝගීන් වෙන්කර ප‍්‍රතිකාර කිරීමේ පහසුකම් සහිත නව ඒකක සහ දැඩි සත්කාර ඒකක / අධි යැපුම් ඒකක පහසුකම් ද ස්ථාපිත කර තිබේ. කොවිඩ් 19 රෝගය සඳහා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 70 කට පමණ අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා සැපයීමට ද ලෝක බැංකු අරමුදල් උපකාර වී තිබේ.

“මෙම වසංගතය මගින් ශ‍්‍රී ලංකාව වසර ගණනාවක ප‍්‍රයත්නයන් මගින් අත්පත් කරගෙන තිබූ කැපීපෙනෙන මානව ප‍්‍රාග්ධන       ජයග්‍රහණ සමහරක් අඩපණ කර තිබෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය සඳහා සිදු වූ හානි පියවා ගැනීම සහ සියලු ශ‍්‍රී ලාංකිකයන්ට වඩා හොඳ අනාගතයක් උදාකර දීම සඳහා ශ‍්‍රී ලාංකිකයින් විසින් ගන්නා උත්සාහයට සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව අපි මහත් සතුටට පත්වෙනවා.” යැයි දකුණු ආසියානු කලාපයේ මානව සංවර්ධන කලාපීය අධ්‍යක්ෂ ලින් ඞී. ෂර්බර්න් බෙන්ස් පැවසීය.

2021 මැයි මාසයේදී ශ‍්‍රී ලංකා රජය සමඟ අත්සන් කරන ලද ණය ගිවිසුමේ ක‍්‍රියාවලීන්ට අනුව සහ එන්නත් අනුමත කිරීමේදී ලෝක බැංකුව උපයෝගී කරගන්නා නිර්ණායක දෙක ඔස්සේ මෙම එන්නත් ලබාගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන ඇති  දැඩි නියාමන අධිකාරීන්ගෙන් අවම වශයෙන් එකකින් හෝ නිත්‍ය හෝ හදිසි බලපත‍්‍රයක් හෝ අවසරයක් තිබෙන, කොවැක්ස් (COVAX) පහසුකම යටතේ ලබාගත්/හෝ සපයන ලද සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම්ලාභී හෝ හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාදුන් එන්නත් සඳහා ලෝක බැංකු අරමුදල් භාවිතා කළ හැකිය. 

එන්නත් කිරීමට ආධාර සඳහා අතිරේක ඩොලර් මිලියන 80.5 ක් ඇතුළුව ඩොලර් මිලියන 298.07 ක් සහිත ශ‍්‍රී ලංකා කොවිඩ් 19 හදිසි ප‍්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගත රෝගී තත්වය කළමනාකරණය කිරීමේ සහ වැළැක්වීමේ ප‍්‍රයත්නයන් සඳහා දායක වී තිබේ. අපේක්ෂිත ව්‍යාපෘති ප‍්‍රතිඵල අතරට ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා මුදල් ආධාර ලබාදීම ඇතුලුව කෙටිකාලීන හදිසි අවශ්‍යතා සපුරාලීම මෙන්ම වසංගතවලට පෙර සූදානම සඳහා සෞඛ්‍ය පද්ධති දිගු කාලීනව ශක්තිමත් කිරීමද මෙයට ඇතුළත් වේ.


සම්බන්ධ වන්න

In Colombo
Dilinika Peiris
dpeiris@worldbank.org
In Washington
Diana Chung
dchung1@worldbank.org
Api
Api