Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2017, නොවැම්බර් 3

ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ආකෘතියේ සාර්ථකත්වය වෙත වන ප්‍ර‍ධානතම පියවර අවදානම් කළමණාකරණයයි!

කොළඹ, 2017 නොවැම්බර් 2 - තිරසාර සංවර්ධනය, රැකියා උත්පාදනය හා දරිද්‍රතාවය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව පෞද්ගලික අංශයෙහි වැඩි ආයෝජන වැඩි කරමින් අපනයනය මුල් කොටගත් සංවර්ධන ආකෘතියක් කරා ගමන් කළ යුතු බවත්, රටේ ආර්ථිකය, අනාගත දැක්ම සහ ප්‍රතිපත්ති ප්‍ර‍මුඛතාවන් පිළිබඳ ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික වාර්තාව වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ඇගයුමෙහි (Sri Lanka Development Update) නවතම ප්‍ර‍කාශනය සඳහන් කරයි. මෑතදී රජය එළි දැක්වූ  ‘Vision 2025 දැක්ම‘ ඒ සඳහා මාර්ගෝපදේශනයක් වනු ඇතැයි ප්‍ර‍කාශනය විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ගමන්මගට සහාය විය හැකි පරිදි, රට තුළ කලින් කලට නැගී එන අවදානම්වලට හා ඉදිරියේදී මුහුණ පෑමට සිදුවිය හැකි නව අවදානම්වලට වඩා ස්ථිරසාර ලෙස මුහුණ දීමට හැකි නව අවදානම් කළමණාකරණ වැඩසටහනක අවශ්‍යතාව මෙම සංවර්ධන ඇගයුම යෝජනා කර ඇත. කුටුම්භ, ආයතන, රාජ්‍ය අංශය මෙන්ම සමස්ථ ආර්ථිකය සඳහා ඇති අවස්ථා උපරිම කිරීම සඳහා මෙම අවදානම් කළමනාකරණය අත්‍යාවශ්‍යයෙන්ම සිදු කළ යුතුය.

සංවර්ධන ඇගයුමෙහි මෙම කලාපය, රාජ්‍ය මූල්‍ය හා ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති ප්‍ර‍තිසංස්කරණ, රාජ්‍ය ණය හා පූර්ව නිශ්චය කළ නොහැකි වගකීම් සහ ස්වාභාවික විපත් සම්බන්ධව අවදානම් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරයි.

වසරේ මුල් භාගයේ ආර්ථික වර්ධනය ස්වභාවික ආපදා නිසා සාපේක්ෂව අඩු අගයක් ගනු ලැබුව දෙවන අර්ධයේ වර්ධනය නිසා 2017 මුළු වසර සඳහා ආර්ථිකය 4.6%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ගන්නා ලද පියවරයන් 2017 වසරේ රාජ්‍ය අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.1% දක්වා අඩු කරනු ඇත. නව ආදායම් පනතක් සම්මත කරගැනීම 2017 රජයේ ප්‍ර‍තිසංස්කරණ වැඩසටහනෙහි ප්‍ර‍මුඛතම ජයග්‍ර‍හණයකි.

Vision 2025 රජයේ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනයෙහි දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමේ හැකියාව රදා පවතිනුයේ ආර්ථික ප්‍ර‍තිසංස්කරණ මතයි. ඒ අනුව ආර්ථිකයේ තරගකාරීත්වය වර්ධනය සහ අපනයන පදනම් කරගත් ආර්ථික ක්‍රමෝපායයන් කරා ගමන් කිරීම වැදගත් වන අතර ප්‍ර‍තිසංස්කරණ නිසා බලපෑමට ලක්වන පුරවැසියන් ආරක්ෂා කොට ආර්ථික අවස්ථා උත්පාදනය කර දීම රජයේ වගකීමක් වනු ඇති බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් පවසයි.

සංවර්ධන ඇගයුමට අනුව, Vision 2025 දැක්මෙහි ද හඳුනාගන්නා පරිදි,  පෞද්ගලික ආයෝජන සහ අපනයන මත පදනම් වූ වර්ධන ආකෘතියක් සහිත, වෙළඳාම මූලික කොටගෙන මෙහෙයවන ආකෘතියක් වෙත පිවිසීම අත්‍යාවශ්‍ය වන්නේ එමගින් ලෝකය තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයන්ට සමීප වෙමින් පුරවැසියන්ට ප්‍ර‍තිලාභ හිමිකර ගැනීමට ඉඩ සැලසෙන හෙයිනි.

ව්‍යාපාර සඳහා ස්ථාවර පරිසරයක් පවත්වා ගැනීම, ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලට ඇති අපහසුතා ඉවත් කිරීම හා රාජ්‍ය මූල්‍ය තවදුරටත් ස්ථාවර කිරීම අවශ්‍ය වන ප්‍ර‍තිසංස්කරණ අතර ප්‍ර‍ධාන තැනක් ගනියි. තවද රාජ්‍ය ණය කළමණාකරණය දියුණු කිරීමට පියවර ගැනීම, සම්පූර්ණ රාජ්‍ය මූල්‍ය කළමණාකරණ නීති පද්ධතියක් පිළියෙල කිරීම සහ ජාතික විගණන පනත සම්මත කර ගැනීම ද ඉදිරි කාලයේ සිදුවිය යුතු මූලික ප්‍ර‍තිසංස්කරණ වනු ඇත.

"නිතර ඇතිවන ස්වභාවික විපත් තව දුරටත් සූදානමින් සිටීමෙහි වැදගත්කම පෙන්වා දෙයි. එබැවින් විවිධ මට්ටම්වලදී අවදානම් කළමනාකරණය කිරීම වැදගත් වේ "යනුවෙන් සංවර්ධන ඇගයුමෙහි ප්‍රධාන කතුවර සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ රැල්ෆ් වෑන් ඩූන් පවසයි. “සාර්ව මූල්‍ය ස්ථායීතාව පවත්වා ගෙන යාම සහ ස්වාභාවික විපත් සඳහා සූදානම් වීම හරහා ශ්‍රී ලංකාවට ඉහළ මැදි -ආදායම් සහිත රටක් බවට පත් විය හැකි බව“ වැන් ඩූන් සඳහන් කරන්නේ දිවයිනෙහි වර්තමාන ආර්ථික තත්වය පිළිබඳ ලෝක බැංකුවේ නිරීක්ෂණ උදාහරණයට ගනිමිනි.


සම්බන්ධ වන්න

In Colombo:
Dilinika Peiris-Holsinger
+94115561325
dpeiris@worldbank.org
Api
Api