Skip to Main Navigation
විශේෂාංග කථාව2022, මාර්තු 29

සෞඛ්‍ය සම්පන්න අනාගතයක් කරා පියවර තබමු

The World Bank

රෝහල් කාර්ය මණ්ඩලය සංවිධානය කළ පා ගමන සහ ශරීර සුවතා වැඩසටහන් සඳහා තම්පලකාමම් ප්‍රජාව සහභාගී වූ අවස්ථාව.

Photo: Jana Dharma

කථා සාරය

  • දියවැඩියාව, හෘද රෝග, ආඝාත සහ පිළිකා ඇතුළු බෝ නොවන රෝග ශ්‍රී ලංකාවේ පවතින රෝග වලින් 90%කට ආසන්න ප්‍රමාණයකට හිමිකම් කියයි.
  • බෝ නොවන රෝග පාලනය සහ නිවාරණය සඳහා යන වියදම ඉතා අධික වන අතර නිවෙස්වල ආර්ථික පසුබිම අනුව අසමාන ලෙස බෙදී පවතියි.
  • • බෝ නොවන රෝග කළමනාකරණයට පූර්ව පරීක්ෂාවන් සහ දිගුකාලීන පසු විපරම් කිරීම, යහපත් ජීවන රටාවන් ගත කිරීම, සහ ආහාර රටාවන් වෙනස් කිරීම යනාදිය ඇතුළත් වේ.

“ගම වටේ ඇවිදින්නයි ව්‍යායාම කරන්නයි පටන් ගත්තොත් ඔවුන්ට මිනිස්සු හිනා වෙයි කියලා මට බොහෝ දෙනෙක් කියා තිබෙනවා,” ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තම්පලකාමම් ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටී. ජීවරාජ් මහතා පවසයි. ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතකට හුරු වීමට දිරිමත් කිරීම සඳහා, වෛද්‍ය ජීවරාජ් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය “වැළඳීමට පෙර සුරැකෙමු” යන තේමාව යටතේ ප්‍රජා පා ගමනක් මෙහෙයවීය. මෙම ප්‍රජා පා ගමන සමඟ ප්‍රදේශයේ පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 200 කට ආසන්න පිරිසක් එක්විය.

රෝහල විසින් ගත් ප්‍රයත්නයන් නිසා ආහාර සහ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ ප්‍රජා ආකල්ප වෙනස් වීමට තුඩු දී තිබේ. “පසුගිය කාලයේ ගමේ අය උදේට ව්‍යායාම කරන බව මම දැක්කා,” වෛද්‍ය ජීවරාජ් සිනාසෙමින් කියයි.

 

ප්‍රදේශයේ බෝ නොවන රෝග කළමනාකරණ වැඩසටහනේ වගකීම දරන්නේ වෛද්‍ය ජීවරාජ් විසිනි. 2020 මැයි මාසයේ සිට, එම ප්‍රදේශයේ අවුරුදු 35ට වැඩි අයගෙන් 43%කට පමණ පිරිසක් බෝ නොවන රෝග වැළඳී තිබේදැයි සොයා ගැනීම සඳහා පරීක්ෂාවට ලක් කෙරුනි. පරීක්ෂාවට කළ අයගෙන් 30%ක් පමණ ස්ථුලතාවයෙන් පෙළුණු අතර ආසන්න වශයෙන් 15%ක් තරබාරු බවින් යුතු විය. මෙම ප්‍රතිශත තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු තරම් ඉහළ අගයක් ගෙන තිබිණි. “ගෙදර වැඩ ඇරුණාම මෙහේ කාන්තාවන්ට තියෙන්නේ එකාකාරී ඇඟ මහන්සි නොවන ජීවන රටාවක්. බෝ නොවන රෝග ඇති කරවන්න ඒක ගොඩක් බලපානවා” වෛද්‍ය ජීවරාජ් කියයි.

බෝ නොවන රෝගවල අඛණ්ඩ වැඩිවීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට බරපතල අභියෝගයක් වී ඇත. බෝ නොවන රෝග කළමනාකරණය සහ පාලනය සඳහා රෝග වැලඳීම අඩු කිරීම අරමුණු කරගත්, ජීවන චක්‍රය පාදක කරගත්  ප්‍රවේශයක් අවශ්‍ය අතර, ඒ සඳහා වත්මන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමක් ද අවශ්‍ය වනු ඇත. ලෝක බැංකුව අරමුදල් සපයන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය (PSSP) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කරන ලද සුව සත්කාර සේවා ප්‍රතිසංවිධානය කිරීමේ මූලික කාර්යයක් ඉටු කරයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියෙහි පරමාර්ථය වන්නේ වැඩි සෞඛ්‍ය අවදානම් සහිත ජනතාව තුළ බෝ නොවන රෝග හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ක්‍රියාකාරීත්වය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා රජයට සහාය වීමයි.

The World Bank

තම්පලකාමම්  ‘සුව සේවා මිතුරෝ’  කමිටු සාමාජිකයින් බෝ නොවන රෝග පරීක්ෂා කිරීම සහ ලියාපදිංචිය පිළිබඳ නිවෙස් දැනුවත් කිරීම.

Photo: M. RAJANATHAN

දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් මට්ටමේ රෝහල් සහ ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක ඇතුළු ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතන (PMCI) හරහා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික රෝග නිවාරණ සේවා සපයනු ලැබේ. අද වන විට රට තුළ ඇති ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතන 1,030 න් 350 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ශක්තිමත් කර ඇති අතර 2023 දී ව්‍යාපෘතිය අවසන් වන විට මෙම සංඛ්‍යාව අවම වශයෙන් වෛද්‍ය සේවා ආයතන 550 දක්වා ළඟා වනු ඇතැයි බලාපොරොත්තු වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වැඩසටහන් වල තාක්ෂණික ප්‍රධානීන්ගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. මෙහි අරමුණ වන්නේ, පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුල ඇතිවිය හැකි බෝ නොවන රෝග හඳුනාගෙන, ඒවා කළමනාකරණය කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමයි. වයස අවුරුදු 35 ඉක්මවූ වැඩිහිටියන් ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවල ලියාපදිංචි කරනු ලබන අතර, ඔවුන්ගේ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පසු විපරම් කිරීමට ඔවුන්ගේ සෞඛ්‍ය දත්ත වාර්තා පවත්වාගෙන යනු ලැබේ. කාලයත් සමඟ මෙය රෝගීන් වඩාත් හොඳින් සම්බන්ධීකරණය කිරීමට උපකාරී වනු ඇත.

බෝ නොවන රෝග කළමනාකරණයට ජීවන රටා සහ ආකල්ප වෙනස් කිරීම ද ඇතුළත් වන අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බෝ නොවන රෝග වැළැක්වීම සඳහා ප්‍රජා සහභාගීත්වය ද ප්‍රවර්ධනය කරයි. මෙම ව්‍යාපෘතිය මගින් ආගමික සහ ප්‍රජා නායකයින්ගෙන් සමන්විත ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතන වලට අනුබද්ධිත ‘සුව සේවා මිතුරෝ’ (Friends of the Facility’) කමිටුව පිහිටුවා ඇත. ඔවුන්ගේ ප්‍රජාවන්ට නව ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංකල්පය හඳුන්වා දීමේදී එම කමිටු වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.   

තම්පලකාමම් රෝහල වනාහි මෙම ව්‍යාපෘතියේ සහාය ලබන ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතන වලින් එකක් වන අතර වෛද්‍ය ජීවරාජ් සහ ඔහුගේ කණ්ඩායම බෝ නොවන රෝග පරීක්ෂාව සහ රෝගීන් ලියාපදිංචිය තුළ ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා තිබේ. "‘සුව සේවා මිතුරෝ’ කමිටු සාමාජිකයින් ගෙයින් ගෙට ගොස්, දැනුවත් කිරීම සහ අපට අවශ්‍ය දත්ත එකතු කිරීම කරනවා. අපි විශේෂ කලින් දින යොදාගත් හමුවීම් ක්‍රමයක් ආරම්භ කළා. වසංගතය අතරතුර පවා අපි දිනකට පුද්ගලයින් 10 දෙනෙකු පරීක්ෂා කළා. මෙම කමිටුව නොතිබුණා නම් අපට කවදාවත් වැඩසටහනේ අඛණ්ඩ පැවැත්ම පවත්වා ගන්න බැරි වේවි,” ආචාර්ය ජීවරාජ් පවසයි.  

මෙම කර්තව්‍යයේදී තම්පලකාමම් ‘සුව සේවා මිතුරෝ’ කමිටු සභාපති එම්. ක්‍රිෂ්ණපිල්ලෛ මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. “බෝ නොවන රෝග පරීක්ෂා කිරීමේ වැදගත්කම ගැන අපි මිනිස්සුන්ට කිව්වා. පරීක්ෂාවෙන් පස්සේ ගොඩක් අය අපිට කිව්වේ මේ වැඩසටහන නිසා ඔවුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වෙලා කියලායි," ඔහු ප්‍රීතියෙන් පැවසීය.  

පරීක්ෂා කිරීම් සහ පසු විපරම් කටයුතු සඳහා පැමිණෙන ලෙස ජනතාව දිරිමත් කිරීම සඳහා රෝගී හිතකාමී සේවාවන් මාලාවක් හඳුන්වා දීමට අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ද සහාය ලබා දී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනය වැඩකරන ජනතාවට රාත්‍රී සායන පවත්වනු ලබයි. “මුලින් එයාලා බෝ නොවන රෝගවල අවදානම් සාධක ගැන ‘සුව සේවා මිතුරෝ’ කමිටුව දැනුවත් කළා. දැන් අවදානම් සාධක තියෙන අයව රෝහලට යොමු කරන්න පුළුවන්.” රාජාංගනය කමිටු ලේකම් ක්‍රිෂාන්ති නුවලා පැහැදිලි කරයි.

බෝ නොවන රෝග කෙරෙහි අවධානය යොමු කිරීම ආකල්පමය වෙනසක් ඇති කිරීමට හේතු වී ඇත. “මෙහේ තරුණයන් රැකියාවට මුල් තැන දුන්න නිසා ව්‍යායාම කිරීමට කාලය වෙන් කරලා නැහැ. දැන් එයාලාට ඇවිත් රෝග පරීක්ෂාව කරගෙන සහ නිරෝගීව සිටින්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්,” තම්පලකාමම් කමිටු සාමාජික මහේන්ද්‍රන් මහතා පවසයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක කිරීමේ මාර්ගයේ අඩක් ම පැමිණ ඇති අතර, එහි ප්‍රතිඵල විශ්මයජනකය. තවත් කළ යුතු දේ බොහෝ ඇතත්, මේ වන විට ලබා ඇති ප්‍රගතිය තුළින් ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතන සංවර්ධනය කිරීමට ඇති හැකියාව සහ මෙම ප්‍රයත්නයන් සඳහා ප්‍රාදේශීය ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීමේ වටිනාකම පෙන්නුම් කර තිබේ. “පෞද්ගලිකව මට හිතෙනවා අපි අපේ ජනතාව තුළ විශාල වෙනසක් කරපු බව” සුව සේවා මිතුරෝ’ කමිටු ලේකම්වරිය ආඩම්බරයෙන් පවසයි.   

Blogs

    loader image

WHAT'S NEW

    loader image