Skip to Main Navigation
විශේෂාංග කථාව2022, මාර්තු 2

තිරසර ධීවර කර්මාන්තයක් තුළින් සමෘද්ධිමත් ජීවිතයක් සමඟ ඉහළ ආදායමක්

The World Bank

Fish make up about 50% of Sri Lankans’ animal protein intake, a ratio 3 times the global average. 

World Bank

කථා සාරය

  • ශ්‍රී ලංකා වැසියන්ගේ සත්ත්ව ප්‍රෝටීන් පරිභෝජනයෙන් 50%ක් පමණ මාළුවලින් සැපයෙන අතර එය ලෝකයේ අනිත් රටවල සාමාන්‍යයට සාපේක්ෂව තුන් ගුණයකි. මීට අමතරව ධීවර අංශය මිලියනයකට ආසන්න ධීවරයින්, කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ජීවනෝපාය සපුරා ගැනීමට උපකාරී වේ.
  • ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අස්වැනෙන් වැඩි කොටසක් අපතේ යන අතර ඇල්ලෙන මසුන්ද අඩුවෙමින් පවතී.
  • පාරිසරික, සමාජයීය, සහ මූල්‍යමය අංශ තිරසාර ලෙස කළමනාකරණය කළහොත් අපනයන ආදායම සහ පුහුණු රැකියා වැඩි කිරීමට ධීවර ක්ෂේත්‍රයට විශාල විභවයක් තිබේ.

ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,620ක වෙරළ තීරයක් සහ ඉන්දියන් සාගරයේ වර්ග කිලෝමීටර් 517,000ක සුවිශේෂී ආර්ථික කලාපයක් හිමිව ඇති අතර, එහි මසුන් ඇල්ලීමට, කැනීම් කටයුතුවලට සහ අනෙකුත් ආර්ථික කටයුතු සිදු කිරීමට අයිතිය තිබේ. කෙසේ වෙතත්, මෙම කලාපය තුළ අසීමිත මත්ස්‍ය සම්පතක් ඇති බවක් මින් අදහස් නොකෙරේ. මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා 50,000 කට වැඩි ප්‍රමාණයක් අධික ලෙස මසුන් ඇල්ලීම නිසා මත්ස්‍ය සම්පතට නැවත වර්ධනය වීමට ඉඩ දීමේ අවශ්‍යතාවක් මතුවී තිබේ. යාත්‍රා සහ ආම්පන්න ප්‍රමාණ ඉහළයත්ම තවදුරටත් මත්ස්‍ය අස්වැන්න අඩුව යනු ඇත.

තිරසාර ධීවර කර්මාන්තයකට සහාය

ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට සැලකිය යුතු දායකත්වයක් සපයන කහවරල් කෙලවල්ලා අධික ලෙස ඇල්ලීම නිසා ඇතිවී ඇති තත්වය සලක බලන්න. වීශාල ඉල්ලුමක් තිබුනත් මාළු අධික ලෙස ඇල්ලීම නිසා කහවරල් කෙලවල්ලන්ගේ අස්වැන්න වැඩි කිරීමට නොහැකි වී තිබේ . කහවරල් කෙලවල්ලන් මත්ස්‍ය සම්පතට නැවත වර්ධනය වීමට  නම් මාළු අල්ලන සියලුම රටවල ඒකාබද්ධ ක්‍රියාමාර්ග අවශ්‍ය වන අතර එය සිදු කිරීමට ශ්‍රී ලංකාවට නායකත්වය ගත හැකි ය. කරදිය මත්ස්‍ය තොග ඉහළ අගයක පවත්වා ගැනීම සඳහා දත්ත පදනම් වූ සහ සහයෝගීතා ධීවර කළමනාකරණ සැලසුම් දියත් කිරීම වැදගත් වනු ඇත.

නිසි කළමනාකාරීත්වයකින් යුතුව මත්ස්‍ය අස්වනු නෙළා ගැනීම තුළින් ධීවර කර්මාන්තයේ ආදායම් වැඩි කිරීමට සහ පුහුණු රැකියා උත්පාදනය කිරීමට හැකි වේ. එසේම ඉන්දියානු සාගර ටූනා කොමිසමෙ හි කෙළවල්ලන් පුනර්ජනනය සඳහා වූ සැලැස්මට ද අනුකූල විය හැකි වේ. “මේ පියවර ලෝක බැංකුවේ කොවිඩ්-19 වලින් හිස ඔසවීම සඳහා සැකසූ හරිත, ඔරොත්තු දීමෙන් යුතු, සැමට අවස්ථාව සපයන සංවර්ධන රාමුවටත් අදාල වෙනවා,” මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදාද්-සර්වෝස් පවසයි.

දැනට ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සති 5ක් මුහුදේ ගත කරන 5,000කට ආසන්න “බහු දින” ධීවර යාත්‍රා බොහොමයක නිසි ශීතකරණ නොමැතිකම හේතුවෙන් අල්ලා ගත් කෙළවල්ලා මාළු වලින් අඩක් පමණ වෙරළට ගෙන ඒමට පෙරම නරක්වී යයි. මේ නිසා අපනයනයට සුදුසු වන්නේ කෙළවල්ලා අස්වැන්නෙන් ඉතා කුඩා කොටසක් පමණකි. මාළු නරක් වීම අවම කිරීමෙන් අපනයන ආදායම සැලකිය යුතු ලෙස වැඩි කර ගත හැකි වේ. නාවික යාත්‍රා නවීකරණය, වැඩිදියුණු කළ මත්ස්‍ය ඇල්ලෙීමේ ක්‍රමෝපායයන්, සහ ඇල්ලීම වැඩි නොකර මුහුදේ ගත කරන කාලය අඩු කිරීම සඳහා වැඩි දියුණු කළ ප්‍රවාහන විධිවිධාන ක්‍රියාත්මක කිරීම මගින් මෙය විසඳා ගත හැකිය.  

සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි වරාය පහසුකම් වැඩිදියුණු කිරීම ද වැදගත් වනු ඇත. යාත්‍රා ඉදිකිරීම, නැවත එකලස් කිරීම සහ සේවා සැපයීම තුළින් පුහුණු ශ්‍රමිකයන්ට රැකියා උත්පාදනය වනු ඇත. කෙළවල්ලාගෙන් ඔබ්බට මත්ස්‍ය අස්වැන්න විවිධාංගීකරණය කිරීමට සහ අගය වැඩි කිරීමට ද හැකියාව ලැබේ.  

පවතින තොග තක්සේරු කිරීම සහ කළමනාකරණය කිරීමේ දී ජනතාවගේ ක්‍රියාකාරී සහභාගීත්වය තුළින් යහපත් ධීවර භාවිත, තොග තත්ත්වය සහ වෙළඳපල පිළිගැනීම වැඩිදියුණු කළ හැකි ආකාරයට  නිල් පිහිනුම් කකුළුවන් සම්බන්ධයෙන් ඇතිවූ මෑත කාලීන සංසිද්ධිය හොඳ උදාහරණයකි. මෙහිදී කඩොලාන සහ ගල්පර වැනි වෙරළබඩ පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම ද ඉතා වැදගත් වේ. මෙම පරිසර පද්ධති නාගරීකරණය, සංවර්ධන කටයුතු, කාලගුණික සහ දේශගුණික විපර්යාස හේතුවෙන් විනාශ වෙමින් පවතියි.

The World Bank

The fisheries sector in Sri Lanka supports close to one million fishers, workers, and their families.

Nadeera Rajapakse

ජලජීවී වගාවේ ඉදිරි ගමන

“ශ්‍රී ලංකාවට එහි ජලජීවී වගා ක්ෂේත්‍රය තිරසාර ලෙස ව්‍යාප්ත කිරීමට මුහුදු ආහාර සඳහා වැඩිවන ඉල්ලුම වැදගත් අවස්ථාවක් ලබා දෙනවා. එයින් රැකියා, පෞද්ගලික අංශයේ ආදායම් සහ රජයේ බදු ආදායමත් වැඩි වෙනවා. හරිත, ඔරොත්තු දිය හැකි, සහ සැමට අවස්ථාව ඇති සංවර්ධනයකට ඒක හොඳ උදාහරණයක්,” ලෝක බැංකුවේ පරිසරය, ස්වභාවික සම්පත් සහ සමුද්‍ර ආර්ථිකය පිළිබඳ පුහුණු කළමණාකරු ක්‍රිස්ටොෆ් ක්‍රෙපින් පවසයි.

1990 ගණන්වල පාලනයකින් තොර සංවර්ධනය නිසා වෙරළබඩ පරිසර පද්ධති පිරිහුණු අතර, රෝග පැතිරීම නිසා ඉස්සන් ගොවිපළවල් අත්හැර දමන ලදී. ඉස්සන් වගාව එතැන් සිට යළිත් පිබිදුණු අතර දැනට ධීවර අපනයන ආදායමෙන් සියයට 7කට පමණ හිමිකම් කියන්නේ වයඹ පළාතේ ඉස්සන් ගොවිපළ යි. නමුත් මෝදා මාළු, මඩ කකුළුවා, මුහුදු කූඩැල්ලා, මුහුදු පැලෑටි සහ වේක්කයා මාළු වැනි අනෙකුත් ඉහළ වටිනාකම් සහිත විශේෂ හරහා ද වාසි ලබා ගැනීමට අවස්ථාව තිබේ.

පරිසර පද්ධති ප්‍රවේශය හරහා (තිරසාර සංවර්ධනය, සමානාත්මතාවය සහ අන්තර් සම්බන්ධිත සමාජ හා පාරිසරික පද්ධතිවලට ඔරොත්තු දීමේ හැකියාව සහිතව පුළුල් ලෙස ජලජීවී වගාව දියුණු කිරීමේ උපාය මාර්ගයකි) ජලජීවී වගාවේ පාරිසරික බලපෑම් අවම කරමින්, නිෂ්පාදනය තිරසාර ලෙස වර්ධනය කළ හැකිය. අපජල කළමනාකරණය, ජෛව ආරක්ෂණය සහ පෝෂණ කාර්යක්ෂමතාව වෙනුවෙන් ඇති ජාත්‍යන්තර ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් මූල්‍ය හා පාරිසරික අවදානම් අවම කර සමස්ත ආදායමේ සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගත හැක. මෙමගින් ශ්‍රී ලංකාවේ ජලජීවී වගාවට වඩාත් ලාභදායී වෙළඳපොළක් විවෘත කර ගත හැකිය.

ජීවනෝපායන් සඳහා වන අවදානම අවම කිරීම

ධීවර කර්මාන්තයේ තිරසර ලෙස කළමනාකරණය කිරීමේදී මත්ස්‍යයන් අල්ලන ප්‍රමාණය අඩු වන බැවින් එය ධීවරයින්ගේ සහ නිෂ්පාදන සැකසුම්කරුවන්ගේ ජීවනෝපාය කෙරෙහි බලපෑ හැකිය. එවැනි බලපෑම් අවම කිරීම සඳහා, අනෙකුත් අංශවල රැකියා සඳහා කුසලතා පුහුණු කිරීම, රැකියා ගැලපුම් වැඩසටහන් සහ ධීවර ක්ෂේත්‍රය තුළ ජීවනෝපාය විවිධාංගීකරණය සඳහා මූල්‍ය ආධාර සැපයිය යුතු වේ. තරුණයන් සඳහා පුළුල් සහ බහුවිධ විසඳුම් මාලාවක් සැපයිය යුතු වේ. අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා විශ්‍රාම වැටුප් වැඩසටහනක් සහ වෙනත් සමාජ ආධාර ද සලකා බැලිය යුතුය.  

ස්ත්‍රී පුරුෂ භාවය සැලකිල්ලට ගැනීම

භූගෝලීය කලාප සහ වාර්ගික පදනම මත වෙනස්කම් පැවතියද, ධීවර අංශයේ කාන්තාවන් සහ පිරිමින් විවිධ භූමිකාවන් ඉටු කරයි. මත්ස්‍යයන් ඇල්ලීම ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ පිරිමින් විසින් වන අතර, ධීවරයින්ගෙන් 10% කට වඩා අඩු ප්‍රමාණයක් කාන්තාවන් වන අතර, ඔවුන් මාළු, ඉස්සන්, කකුළුවන්, මට්ටි සහ බෙල්ලන් වැනි වෙරළ ආසන්නයේ වෙසෙන සතුන් 'ඇහිලීමේ' හෝ අල්ලා ගැනීමේ නිරත වේ. වියළීම වැනි මත්ස්‍ය අස්වැන්න නෙලීමෙන් පසුව කරනු ලබන ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ කාන්තාවන් විසිනි. කාන්තාවන් බොහෝ විට නිවසේ මූල්‍ය කටයුතු සම්බන්ධ තීරණ වලදී වැදගත් භූමිකාවන් ඉටු කරන අතර පිරිමින් බැහැරව සිටින විට ධීවර රැස්වීම්වලට ද සහභාගී වේ. එබැවින් ධීවර කළමනාකරණ සැලසුම් කටයුතු සඳහා කාන්තාවන් ගැන ද සැලකිල්ලට ගත යුතුය. “අගය, සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හෝ විකල්ප ජීවනෝපායන් සඳහා සහාය වීමට සැලසුම් සකස් කරද්දී පිරිමින් මෙන්ම කාන්තාවන් ද සැලකිල්ලට ගන්න ඕනෑ. උදාහරණයක් විදියට, වැඩ කරන වේලාවන් ගණන් ගනිද්දි නිවසේ කාන්තාවන්ට කළ යුතු රාජකාරි ද ගණන් ගත යුතුයි.”  මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු දේශීය කළමනාකරු චියෝ කන්ඩා පවසයි.

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ තිරසාර සහ ඔරොත්තු දෙන වර්ධනය රඳා පවතින්නේ පැහැදිලි සහ ස්ථාවර නියාමන පරාමිතීන්, නව දැනුම, සහ පාරිසරික හා සමාජීය අභියෝගවලට මුහුණ දිය හැකි සැලැස්මක් සමග ය.

ධීවර අමාත්‍යාංශයේ සමීප සහයෝගයෙන් සකස් කරන ලද ලෝක බැංකු වාර්තාවක් වන Priorities for Sustainably Managing Sri Lanka’s Marine Fisheries, Coastal Aquaculture, and the Ecosystems that Support Them හරහා ධීවර ජනතාවගේ ආදායම් සහ ජීවනෝපායන් තිරසාර ලෙස වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ආයෝජන සඳහා නිශ්චිත නිර්දේශ සපයයි.

එම වාර්තාව 2022 මාර්තු 3 වන දින ශ්‍රී ලංකා රජය සමඟ ඒකාබද්ධ උත්සවයකදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය. එහි දී මෙම නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ඇති තිබිය යුතු හවුල්කාරිත්වය පිළිබඳ සාකච්ඡාවක් ද පැවැත්වේ. මෙම උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් xxx සිට xxx දක්වා ලෝක බැංකු ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කෙරෙනු ඇත. www.Facebook.com/WorldBankSriLanka

Blogs

    loader image

WHAT'S NEW

    loader image