Skip to Main Navigation
විශේෂාංග කථාව 2018, මැයි 16

මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකාවට දියුණුව වෙත පිය එසවිය හැකි ය


කථා සාරය

  • පූර්ව ළමාවිය අධ්‍යාපනය නැංවීම තුළින් සැමට සම ඉගෙනීමේ අවස්ථා ලබා දීමට සහ සාධාරණාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ හැකිය.
  • පූර්ව ළමාවිය අධ්‍යාපනයෙන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳවත්, තමන්ගේ නිවෙස්වල ධනාත්මක පරිසරයක් නිර්මාණය කළ හැකි ආකාරය පිළිබඳවත් දෙමාපියන් දැනුවත් විය යුතු ය.
  • ලොව පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා අවම රාජ්‍ය වියදම් අනුපාතයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ද වන අතර ඒ සඳහා වන ආයෝජනයන් ඉහළ නැංවිය යුතු ය.

අද දිනයේ ලලනි දමයන්ති පෙරේරා කපුටෙකු ලෙස වෙස් වලාගෙන සිටී. සිඟිති කැකුළු පෙර පාසලෙහි හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ගුරුතුමිය වන ලලනි සහ ඇයගේ සහාය ගුරුතුමිය (නරියෙකුගේ වෙස් මුහුණක් පැළද) වයස පහට (05) අඩු ශ්‍රී ලාංකික සිඟිත්තන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා ඊසොප්ගේ උපමා කතා රඟ දක්වන අතර, කතන්දරයට අනුව කපටි නරියා කපුටා අතැති චීස් කැබැල්ල ඩැහැගැනීම සඳහා උපායක් යොදද්දී ලලනි ‘කාක්‘ හඬ නගමින් කෑගසයි; සිගිත්තන්ගේ සිනා හඬ දසත පැතිරේ.

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පුහුණුවේ දී පංති කාමරයේ දී නාට්‍යය හා රංගනය උගැන්වීම සඳහා කාර්යක්ෂමව භාවිතා කරන ආකාරය ලලනි ඉගෙන ගත්තා ය. "මුලින් මම පාවිච්චි කළේ පින්තූරයි පොතුයි විතරයි“ ඇය පවසන්නේ රංගනය මගින් වැඩි විනෝදයක් හා වඩා ඵලදායී ප්‍ර‍තිඵල ලබා ගැනීම පිළිබඳ පහදමිනි. මේ හේතුවෙන් දරුවන්ට එම කථාව නිවසේදී නැවත කීමට හැකි වන අතරම, ඔවුන්ගේ මතකය ද වැඩි දියුණු වෙයි. "මාසෙකට පස්සෙ වුණත් අපි රඟපාලා පෙන්නුවේ කොහොමද කියල දරුවන්ට ඒක මතකයි." ඇය කියන්නී ය.

ලලනි දකුණු ආසියාව තුළ ලෝක බැංකුව විසින් අනුග්‍රහය දැක්වූ පළමු කාණ්ඩයේ මුල් ළමාවිය සංවර්ධන (ECD) ව්‍යාපෘතිය හරහා පුහුණුව ලැබූවෙකි. මෙම ව්‍යාපෘතියේ එක් පියවරක දී, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ ජාතික සංගණනය සිදු කෙරුණු අතර එමගින් පහසුකම් වැඩිදියුණු කිරීමට සහ ගුරුවරුන්ට, ළමා සංවර්ධන නිලධාරීන්ට සහ කුඩා දරුවන්ගේ දෙමාපියන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා වන ප්‍රධාන අභියෝග හඳුනාගැනීමට උපකාර කොට තිබේ.

මුල් ළමාවිය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම යනු සාධාරණත්වය ප්‍රවර්ධනයයි

සිය සමාජ වටපිටාවෙහි වන පවුල්වල සමාජ ආර්ථික තත්වය දරුවන් පෙර පාසලට යැවීම හෝ නොයැවීමට විශාල හේතුවක් සපයන බව ලලනී දනියි. ඇතැම් පවුල් ගාස්තුව එකතු කර ගැනීමට පවා දරන්නේ විශාල අරගලයකි. "අපේ පෙර පාසැල අවට ගමේ පවුල් දුප්පත්" ලලනි පවසන්නේ එම පවුල්වල බෙහෝ දෙනෙක් දිනපතා කුලියට උද්‍යාන කම්කරුවන්, වඩු කාර්මිකයන් හෝ පෙදරේරුවන් ලෙස සේවය කරන බව දක්වමිනි.

ලලනිගේ අත්දැකීම් මගින් සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම විවිධ සමාජ හා ආර්ථික පසුබිම්වලින්‍ එන දරුවන්ට සම අවස්ථා සැලසෙන පරිදි මුල් ළමාවිය සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ මන්ද යන්නයි.

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලට දරුවන් ඇතුළත් කිරීම පිළිබඳ නවතම දත්ත පෙන්නුම් කරන්නේ ශ්‍රී ලාංකික කුටුම්භයන්හි ඉහළ පංචමකයන්හි දරුවන් 54%ක් පෙරපාසැල් සඳහා ඇතුළත් වද්දී සන්සන්දනාත්මකව‍, පහළ පංචමකයන්හි දරුවන් 44%ක් පමණක් ඇතුළත් වන බවයි. ඉහළම පවුල් මට්ටම්වලදී පවා ප්‍ර‍වර්ධනය පිණිස වැඩි අවකාශයක් පවතින බව පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ නවතම ගෘහස්ථ ආදායම් හා වියදම් (HIES) දත්තයන්ට අනුව, නාගරික හා වතුකරය අතර විෂමතාව ද ඉහළ අගයක් ගන්නා බව පෙන්නුම් කරන්නේ, නාගරික පරිසරයන්හි 54%ක් ගන්නා ඇතුළත් කිරීමේ අගය වතුකරයේ දී 42%ක් පමණක් වන බැවිනි.

ආර්ථික වශයෙන් අවාසි සහගත තත්වයන්හි පසුවන පවුල්වල දරුවන්ට ධනවත් පවුල්වල දරුවන්ට වඩා දුර්වල සංජානන තත්වයන්ට ලක්වීමේ වඩා වැඩි අවදානමක් පවතින බව අධ්‍යයනයන් පෙන්වා දෙයි. මුල්කාලීන සංවර්ධන ප්‍රමාදයන් දිගුකාලීන වශයෙන් විභවමය දුර්විපාක ඇති කිරීමට හේතු ඇති කළ හැකිය.  එබැවින් මෙම සන්දර්භය තුළ, පූර්ව ළමාවිය අධ්‍යපනය සඳහා ප්‍රවේශය‍ සැපයීම, ඉගෙනීමේ අවස්ථා සමව ලබා දීම‍ට සහ සාධාරණාත්මක ලෙස සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ද උපකාර වනු ඇත.


Image

මේ ස්ථානයේ එදා සහ අද අතර ඇති වෙනස පැහැදිලියි. ළමයින්ට  දැන් සෙල්ලම් කරන්නට සෙල්ලම් බඩු, ඉඩකඩ හා අවට පරිසරය ද දරුවන්ට ගැලපෙන ලෙස සකස් වෙලා තියෙනවා.

Photo credit : Viraj Kanishka Madanayake


පුහුණු වැඩසටහන් දෙමව්පියන් ඉලක්ක කළ යුතුය

ගුරුවරුන් පුහුණු කිරීමෙහි වැදගත්කම පුළුල් ලෙස පිළිගෙන ඇති නමුත්, මුල් ළමාවිය අධ්‍යාපනයෙහි ප්‍රයෝජන ‍පිළිබඳ දැනුවත් කරනු පිණිස දෙමාපියන් දැනුවත් කිරීම වැඩි වශයෙන් සිදු කළ හැකිය. ඉලක්කගත වැඩසටහන් මගින් පෙර පාසල් හා අනෙකුත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලින් සපයනු ලබන සේවාවන්වලින් ප්‍රයෝජන ගැනීමට පවුල් ‍දිරිගන්වනු පමණක් නොව, ඔවුන්ගේ නිවසේ භූමිකාව, එනම්, ක්‍රීඩා කිරීම්, මුල් ඉගෙනුම් සඳහා උත්තේජනය සැපයීම් මෙන්ම ඔවුන්ගේ පෝෂණ තත්ත්වයහි බලපෑම් පිළිබඳ වටහා ගැනීමට ද අවකාශ සපයා දිය හැකි ය.

සෑම වසරකම ජනවාරි මාසයේ සිට මැයි මස දක්වා කාලය තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනියක් වන සුරංජී උදයාංගනී දෙමාපිය කණ්ඩායම් එක් රැස් කරයි. පූර්ව ළමාවිය අධ්‍යාපනික වැඩසටහන් යනු දරුවන්ට ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබා දෙන්නක් නොව ක්‍රීඩා-මූලික ක්‍රියාකාරකම් සහ සමාජානුයෝජනය හරහා ඔවුන්ගේ දරුවන්ට අගනා ප්‍රතිලාභ ලබා දෙන්නක් බව දෙමව්පියන්ට වටහා දීම ඇය අභියස වන විශාලතම අභියෝගයයි.

දරුවන්ට හැඩතල හඳුනාගැනීමට උපකාර කිරීම, ගීත ඉගැන්වීම හෝ එළවළු හඳුනාගැනීමට උපකාර කිරීම වැනි දෙමාපියන්ට නිවසේ දී සිදුකළ හැකි කටයුතු වටහා ගැනීමට ඇය උපකාර කරන්නී ය. "දෙමව්පියන් නිවස තුළ දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය කළ යුතු ය" ඇය කියන්නී ය. "වෙන කිසිවෙකුට හෝ මෙය සිදු කළ නොහැකි යි, මුදල් ගෙවා මිලට ගන්නට හෝ නැතහොත් ටියුෂන් පන්ති වෙත යැවීමෙන් සිදු කළ නොහැකියි."

සුරංජි පැහැදිලි කරන්නේ කුඩා දරුවන් අත්දැකීම්වලින් උපරිම ඉගෙනීමක් ලබන බවයි. "ඔවුන් තමන් දකින හා අසන දෙය ඉක්මනින් ග්‍ර‍හණය කර ගන්නවා. ඒ නිසා දරුවාගේ පවුල හා මුල්ම පරිසරය ධනාත්මක විය යුතුය."

ශ්‍රී ලංකාව මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා ආයෝජනයන් ඉහළ නැංවිය යුතු ය.

මුල් ළමාවිය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම ශ්‍රී ලංකාව විෂයයෙහි ආර්ථික වශයෙන් අර්ථාන්විත ය. එවන් මැදිහත්වීම් මගින් ඉහළ ප්‍රතිලාභයක් සහිත පිරිවැය අනුපාතයක් මෙන්ම මානව ප්‍රාග්ධන ආයෝජනයේ හොඳම ප්‍ර‍තිලාභයක් හිමිකර දෙන්නක් බව ඔප්පු වී තිබේ. එවැනි වැඩසටහන් වලට යොමු වන දරුවන් සම්මත පරීක්ෂණයන්වලදී ඉහළ ප්‍ර‍තිඵල පෙන්වීම, අඩු පාසල් හැරයාමේ අනුපාතයක් දැක්වීම සහ ඉහළ ශ්‍රේණි ප්‍රතිශතයක් රඳවා ගැනීම වාර්තා කොට ඇත.

මෙම ක්ෂේත්‍රයෙහි වැදගත්කම හඳුනා ගැනීම ශ්‍රී ලංකාව තුළ ඉහළ නගිමින් පවතින නමුත් ඒ වෙත ආයෝජන ඉහළ නැංවීමක් හඳුනාගන්නට නොලැබේ. මැදි ආදායම් ලබන රටවල මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ දළ වියදම (දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස) .03%‍ කි. එසේ වුවත්, සමාන්තරව ශ්‍රී ලංකාවේ දළ ජාතික නිශ්පාදිතයෙන් මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා වැය කරන්නේ  0.0001% ක ප්‍ර‍තිශතයකි. එය ලෝකයේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය මුදල් වැය කිරීමේ අවම අගයයන් පෙන්නුම් කරන අවස්ථාවලින් එකකි.  මීට අමතරව, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක ආරක්ෂිත පානීය ජලය, ප්‍රථමාධාර පෙට්ටි, කලුලෑලි, සෙල්ලම් බඩු, උපකාරක ද්‍ර‍ව්‍ය වැනි ප්‍රමාණවත් මූලික ආදාන නොමැත. මෙම අවශ්‍යතා සපුරාලන විට, දරුවන් වැඩී නැගෙනු ඇත.

මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය කොටසක් ලෙස ලලනිගේ පාසල පුළුල් කිරීම සඳහා ද ලෝක බැංකුව අනුග්‍රහය දැක්වීය. එහි කළ චාරිකාවක දී සුරංජී පෙන්වා දුන්නේ මෙම පාසලට දැන් වැඩි ශිෂ්‍ය පිරිසක් සඳහා පහසුකම් සැලසීමට හැකි වී ඇති අතර අවශ්‍ය තරම් ඉගැන්වීම් උපකාරක ද්‍ර‍ව්‍ය ද ලැබී ඇති බවයි. "මේ ස්ථානයේ එදා සහ අද අතර ඇති වෙනස පැහැදිලි යැයි " මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනිය පවසන්නී ය. ළමයින්ට  දැන් සෙල්ලම් කරන්නට ඉඩකඩ ඇත. අවට පරිසරය ද දරුවන්ට ගැලපෙන ලෙස සකස් වී ඇත."



Api
Api