Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2019, ජූනි 25

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යයාසයන්ට මුහුණදීමේ ඇති හැකියාව ශක්තිමත් කර ගනියි

වොෂිංටන්, 2019 ජුනි 25 - කොළඹ පහළ කැලණි ද්‍රෝණියේ ගංවතුර අවදානම අවම කිරීම සහ ශ්‍රී ලංකාව පුරා කාලගුණ අනාවැකි සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 310 ක ණය මුදලක් ලෝක බැංකුව විසින් අද අනුමත කරන ලදී.

දේශගුණික විපර්යයාසයන්ට මුහුණදීමේ ඇති හැකියාව ශක්තිමත්  කර ගැනීමේ බහු-අදියර ප්‍රවේශ ව්‍යාපෘතිය, ඩොලර් මිලියන 774 ක් වන තුන් අවුරුදු ආයෝජන වැඩසටහනේ පළමු ව්‍යාපෘතිය වන අතර එය වසර 8 ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2017 දී ආන්තික කාලගුණික සිදුවීම් වලින් බහුලව පීඩාවට පත් වූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර දේශගුණික විපර්යාස හේතුවෙන් 2050 වන විට සියයට 1.2 ක වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයට අලාභයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගංවතුර හේතුවෙන් 2010 සිට 2018 අතර මිලියන 14 ක පමණ ජනතාවක් පිඩාවට පත්වී ඇති අතර නියඟය මිලියන 12 ක ජනතාවකට බලපා ඇත. පවතින දත්ත වලට අනුව ගංවතුර සංඛ්‍යාතය ඉහළ යනු ඇති අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 87 ක් පමණ ජීවත් වන්නේ අධික උෂ්ණත්වය සහ වර්ෂාපතනය බලපෑ හැකි ප්‍රදේශවල ය.

“මෙම දේශගුණික විපර්යයාසයන්ට මුහුණදීමේ ඇති හැකියාව ශක්තිමත්  කර ගැනීමේ වැඩපිළිවෙල මගින් ජනතාවගේ ජීවනෝපායන් සහ රාජ්‍ය වත්කම් වලට සිදුවන පාඩු අවම කර ගත හැකි අතර  ආර්ථිකයට ඇති වන බලපෑම ද අවම කර ගත හැකිය” යනුවෙන් නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය පැවසීය. “ජීවිත හා වත්කම් ආරක්ෂා කිරීම සඳහා සමාජීය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වන යටිතල පහසුකම් සහ සන්නිවේදන පද්ධති ගොඩනැගීමට මෙම වැඩසටහන රජයට උපකාර වනු ඇත. මෙම වැඩසටහන සකස් කර ඇත්තේ බලගතු සාක්ෂි මතය.”

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ භෞතික අවදානම් වලට මුහුණදීමේ ඇති හැකියාව ශක්තිමත් කිරීමේ රජයේ සැලසුම් සහ 2016 හා 2017 ගංවතුරෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික අවදානම් අවම කිරීමේ උත්සහ සමඟ සමපාත වේ. ගංගා ද්‍රෝණි 25 ක ගංවතුරට ගොදුරු වන ප්‍රදේශවල වෙසෙන මිලියන 3.5 ක ජනතාව ද ඇතුළුව සියල්ලන්ටම නව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති මගින් ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දේශගුණික විපර්යාස තර්ජනයන්ට ප්‍රතිචාර දැක්වීම සදහා මහජනතාවට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට තීරණ ගැනීමට මෙම ව්‍යාපෘතියේ දත්ත උපකාරී වනු ඇති බව ජ්‍යෙෂ්ඨ ආපදා කළමනාකරණ විශේෂඥයින් සහ කාර්යය කණ්ඩායම් නායකයින් වන ෆෙඩ්රිකා රංගිඑරි සහ සුරංග කහන්දාව යන අය අවධාරණය කළහ.

ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මෙම ව්‍යාපෘතිය සදහා වසර 7 ක සහන කාලයක් ඇතුළුව වසර 32 ක කල්පිරීමක් සහිත ණයක් අඩංගුය. වැඩසටහනේ පළමු අදියර වසර පහක කාලයක් තුළ ක්‍රියාත්මක කෙරෙන අතර, එලදායි ලෙස ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා ඊළඟ අදියරයන් අතිච්ඡාදනය  කර සකස් කෙරේ. අනුවර්තනීය ඉගෙනීම සඳහා සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරි ගැන්වීම සඳහා මෙම වැඩසටහන නම්‍යශීලී ලෙස සැලසුම් කර ඇත.


මාධ්‍ය නිරාවරණ අංකය: SAR/2019

සම්බන්ධ වන්න

කොළඹ
දිලිනිකා පීරිස්
+94 (011) 5561347
dpeiris@worldbank.org
වොෂිංටන්
එලේනා කැරබන්
+1 (202) 473-9277
ekaraban@worldbank.org
Api
Api