Skip to Main Navigation
විශේෂාංග කථාව 2017, ජූනි 29

ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම: දරිද්‍ර‍තාවයට වන බලපෑම අවම කරමින් ප්‍ර‍තිසංස්කරණ කඩිනම් කළ යුතු ය


කථා සාරය

  • ශක්තිමත් වන ගෝලීය ආර්ථිකයක පෙරලකුණු හා ප්‍රතිසංස්කරණ ‍සඳහා රජය පෙන්වන ලද කැපවීම මත ලෝක බැංකුව සුභදායී පෙරදැක්මක් පිළිබඳ විශ්වාසය පළ කරයි.
  • ස්වභාවික විපත්වලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව භෞතික හා මූල්‍ය වශයෙන් සූදානම් විය යුතුය.
  • දරිද්‍රතාව අඩුකිරීමට ශ්‍රී ලංකාව වැදගත් පියවර රැසක් ගෙන ඇති අතර අනාගත ප්‍රතිසංස්කරණ දරිද්‍ර‍භාවයට බලපාන අයුරු සම්බන්ධව සලකා බැලිය යුතු ය.

අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ කාර්ය සාධනය 2016දී සතුටුදායක මට්ටමක පැවතිණැයි ලෝක බැංකුවෙහි නවතම ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම් වාර්තාව පවසයි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කිරීම සහ GSP + සහනය නැවත ලබා ගැනීම වැනි සුවිශේෂ ජයග්‍ර‍හණ ලෙස වාර්තාව හදුනා ගනියි. ශ්‍රී ලංකාව 2015 වසරට සාපේක්ෂව අයවැය හිඟය අඩු කොට රාජ්‍ය මූල්‍ය තත්වය වැඩි දියුණු කර ඇත. ශක්තිමත් වන ගෝලීය ආර්ථික පසුබිම රජය ප්‍රතිසංස්කරණ  සඳහා කැපවීමෙන් ක්‍රියා කළහොත් වඩාත් සුභදායී හෙට දිනක් උදාකරගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය මාස කිහිපය තුළ ඇති වුණු ගංවතුර හා නියඟ තත්වයන්වලින් කෘෂි කර්මාන්තයට සිදු වූ අයහපත් බලපෑම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ‍හා ඊට අදාල ආයෝජනයන්හි ඇති වූ වර්ධනයන් තුළින් යම්තාක් දුරකට අවම කරගත හැකි විනැයි වාර්තාව සදහන් කරයි.

" අපේ වාර්තාව රට හමුවේ ඇති ප්‍ර‍ධාන අභියෝග කිහිපයක් හඳුනා ගන්නවා" යැයි ශ්‍රී ලංකාව සහ මාලදිවයින පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ රැල්ෆ් වෑන් ඩූරන් පවසයි. "ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම අවශ්‍ය වන අතර, එසේ නොවුණහොත්, ආර්ථික වර්ධනය හා ස්ථායීතාවය අවදානමකට ලක් විය හැක. ශක්තිමත් සංචාරක කර්මාන්තය සහ විදේශ ශ්‍ර‍මිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ හරහා ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයන නමුත් 2019න් පසු නැවත ගෙවීමට ඇති යුරෝ බැඳුම්කර නිසා රටේ ගෙවුම් ශේෂය අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දිය හැක. "

ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුමෙහි මෙම කලාපය, රටෙහි ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගෙනයාම, එහි ව්‍යුහමය දුර්වලතා ශක්තිමත් කිරීම හා පෞද්ගලික අංශයේ නව, ඵලදායි රැකියා උත්පාදනය කළ හැකි ආකාරය ගැන විශේෂ අවධානයක් යොමු කර ඇත. විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා, ආයෝජකයින්ගේ සුරක්ෂිතභාවය සහ ප්‍ර‍තිපත්ති සැලසුම් හා නීතිමය රාමු නිසි ලෙස සකස් විය යුතු බව වාර්තාව දක්වයි.

ආර්ථික වර්ධනය හමුවේ වන ගැටලු විසඳාගැනීමට එරෙහි ප්‍රධාන අභියෝග එකිනෙකට සම්බන්ධ වී ඇති අතර, ඒවා වෙන් වෙන්ව නොගන්නා පුළුල් ප්‍රතිසංස්කරණ ප්‍රවේශයක් අවශ්‍ය බව වාර්තාව දකියි. අභියෝගාත්මක ගෝලීය පරිසරයත්, සංකීර්ණ වූ දේශපාලන වාතාවරණයත් හමුවේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් අභිලාෂයක් හා රාජ්‍ය සේවයේ උපරිම සහාය ප්‍ර‍තිසංස්කරණ ක්‍රියාවලියේදී වැදගත් වනු ඇතැයි වාර්තාව හඳුනා ගනියි.

වාර්තාව දක්වන මූලික කරුණුවලින් කිහිපයක්:

ප්‍රතිසංස්කරණ මගින් අභියෝග ජය ගැනීම තිරසාර හා සාධාරණ වර්ධනයක් සඳහා තීර‍ණාත්මක ය

රාජ්‍ය මූල්‍ය තත්වය ඉහළ නැංවීම ප්‍ර‍ධාන අවශ්‍යතාවක් බව වාර්තාව පෙන්වා දෙයි. 2016 දී, රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ලද ලාභ හා ලාභාංශ රජයේ ආදායම් ඉහළ නැංවීමට උපකාරී විය. බදු නොවන ආදායම මත අඩුවෙන් යැපෙමින් බදු ආදායම ව්‍යුහාත්මකව වැඩි දියුණු කිරීම මෙහිලා ප්‍ර‍ධාන අභියෝගයක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අපනයන හා පුද්ගලික අංශයේ ආයෝජන මත රඳා පවතින ගෝලීය ආර්ථික ක්‍රියාවලීන්ට අගය එකතු කරන ආකෘතියක් කරා ගෙන යාමට ආර්ථිකයේ සියලු අංශවලට බලපාන ප්‍රතිසංස්කර‍ණ සිදු කිරීමට අවශ්‍ය වනු ඇත. නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ප්‍ර‍තිසංස්කරණ සාර්ථකව සිදුවන්නේදැයි සොයා බැලීම වැදගත් වේ.

ගංවතුර හා නියඟයන් හමුවේ ශ්‍රී ලංකාව භෞතික හා මූල්‍යමය ස්ථායීතාවය වැඩි කර ගත යුතු අතර අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමට සූදානම් විය යුතුය.

රට පුරා පැතිර ගිය ගංවතුර හා නියඟයන් ආර්ථික වර්ධනය හා අපනයන කාර්ය සාධනය මත අහිතකර ලෙස බලපෑවේ ය. මීට පෙර ද ගංවතුර හමුවේ ජනයා පීඩාවට පත්ව තිබුණත්, වර්ෂ 2016 දී ගංවතුර හා නායයෑම් හේතුවෙන් සිදු වූ හානිය 1992 සිට 2011 දක්වා සිදු වූ දරුණුතම ගංවතුර ආපදා වල සිදු වුණු හානිය මෙන් දෙගුණයක් පමණ විය.

ලෝක බැංකුව, රජයේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (CRIP) සඳහා අනුග්‍ර‍හය දක්වයි. වර්තමාන හා අනාගත දේශගුණික අවදානම් හඳුනාගෙන වහාම අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අවදානම පිළිබඳ දැනුවත්ව කරන නව සංවර්ධන වැඩසටහන් සහ ඉහළ අවදානම් කලාප ඉලක්ක කොටගෙන අවදානම අවම කිරීම සඳහා ආයෝජනය කිරීම යනාදී වැදගත් නිර්දේශ රැසක් එහි අන්තර්ගත වේ.

ස්වාභාවික ආපදාවන්ට එරෙහිව ක්ෂණිකව මූල්‍යමය ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය මූල්‍ය ස්ථායී බව ආරක්ෂා කිරීම සඳහා රජයට අනුගමනය කළ හැකි විකල්ප කිහිපයක් තිබේ. අලාභ හා හානි දත්ත රැස්කිරීමේ හා වාර්තා කිරීමේ පද්ධතිය ක්‍රමවත් කිරීම හා ජාතික ආපදා අවදානම් ‍සඳහා වන මූල්‍ය උපාය මාර්ග සංවර්ධනය කිරීම වැනි කෙටිකාලීන උපාය මාර්ග ඊට ඇතුළත් ය.

පශ්චාත් ආපදා මෙහෙයුම් සඳහා මූල්‍ය සම්පාදනය පිණිස වේගවත් උපයෝගීතා යාන්ත්‍රණයක් ලෙස භාවිතයට ගනු පිණිස ජාතික ආපදා සංචිත අරමුදලක් ස්ථාපිත කිරීම සහ කෘෂිකාර්මික රක්ෂණ වැඩසටහනක් හඳුන්වා දීම මැදිකාලීන විසඳුම් සඳහා ඇතුළත් කළ හැකිය.

රාජ්‍ය මූල්‍ය ස්ථායීතාවය වර්ධනය කිරීම දුගී බව වෙත කරන බලපෑම සළකා බැලීම වැදගත් ප්‍රතිපත්ති‍මය කරුණකි.

ආන්තික දරිද්‍රතාව අඩු වී ඇති ‍නමුත්, ශ්‍රී ලංකාවේ මධ්‍ය දරිද්‍රතාවය තවමත් ඉහළ මට්ටමක පවතී. 2012/13 දී, සමස්ථ ජනගහනයෙන් 15% ක් සහ වතු අංශයෙන් හතරෙන් එකක් පමණ දිනකට ඇමරිකානු ඩොලර් 3.10 ට අඩු ආදායමක් ලබන්නන් විය. තවදුරටත්, දරිද්‍රතාවයෙන් ඉහළ මට්ටමක පවතින ‍කලාප රටේ උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම වතු අංශයේ ද සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ද හමු වේ. ඒ සමග ම, සමාජ සුභසාධන වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍ර‍තිශතයක් ලෙස 2004 සිට 2014 දක්වා මූර්ත වශයෙන් පහත වැටී ඇත. දුගී ජනතාව මනා ලෙස ඉලක්ක කරගැනීමකින් තොරව දරන වියදම් සෑමවිටම පීඩිත සහ අවශ්‍ය ජනතාව කරා ගමන් නොකරන බව පිළිගත් මතයකි.

දරිද්‍රතාවය අවම කිරීමේ කටයුතු හමුවේ ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතත්, ඉදිරි ප්‍රතිසංස්කරණ සමාජයේ විවිධ කොටස්වලට බලපාන ආකාරය විමසා බැලීම වැදගත් වේ. බහුතරය සඳහා සැලකිය යුතු ප්‍රතිලාභ ලැබෙනු ඇතත්, තරගකාරීත්වය ඉහළ නැගීමත් සමග දේශීය කර්මාන්ත සඳහා වන සුරක්ෂිත බව අඩු වී  අවදානමට ලක්වන ක්ෂේත්‍ර, සමාගම් සහ සේවකයින් මුණ ගැසෙන්නට ඉඩ ඇත.

මෙම ගැටළුවට මුහුණ දීමේ එක් ක්‍රමයක් නම් දුගී ජනතාවට සිදුවන බලපෑම මග හරවා ගැනීම සඳහා නව බදු ප්‍ර‍තිසංස්කරණවල බලපෑම පරීක්ෂාකාරීව තක්සේරු කිරීමයි. වත්මන් වැට් බදු නිදහස් කිරීමේ ව්‍යුහය උදාහරණයක් ලෙස විමසා බැලුවහොත්, එහි වන බොහෝ නිදහස් කිරීම් සමාජයේ ඉහළ ස්ථරවල වැඩියෙන් භාවිතා කෙරෙන භාණ්ඩ මත බලපැවැත්වෙන හෙයින් දුප්පතුන්ට ඒ මගින් වන බලපෑම අවම වීම දැක්විය හැක. ඉලක්කගත ක්‍රමෝපායන්ට අනුකූලව සමාජ ආරක්ෂණ හා රාජ්‍ය වියදම් ක්‍ර‍ම යටතේ දුගී ජනතාව ආරක්ෂා කිරීම වඩාත් කාර්යක්ෂම ක්‍ර‍මයක් විය හැකිය.  එවැනි පියවර මගින් පීඩාවට පත් වූවන් මග නොහරින බව සහතික කෙරෙනු ඇත.


Api
Api