Skip to Main Navigation
විශේෂාංග කථාව 2018, ජූනි 27

ඉහළ මැදි ආදායම ලබන රටකට අවශ්‍ය රැකියා උත්පාදනය

Image

Download the June 2018 edition of the Sri Lanka Development Update More and Better Jobs For An Upper Middle-Income Country

 


කථා සාරය

  • රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සහ වියදම් කළමණාකරණය තුළින් දශක ගණනාවකට පසු ශ්‍රී ලංකාව රාජ්‍ය අයවැයේ ප්‍රාථමික අතිරිත්කයක් වාර්තා කර ඇත.
  • අභියෝගාත්මක දේශපාලන වාතාවරණය ප්‍රතිසංස්කරණවල ප්‍රගතියට අහිතකර බලපෑමක් එල්ල කළ හැක.
  • රටට අවශ්‍ය හොඳ තත්ත්වයේ රැකියා අවස්ථා උත්පාදනය කිරීමේදී අඩු මට්ටමක පවතින ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගීත්වයට සහ ඉහළ අගයක් ගන්නා තරුණ සේවා වියුක්තියට අදාළ අභියෝගයන් සැලකිල්ලට ගත යුතුය.

දශක ගණනාවකට පසු 2017 වසරේදී ප්‍රාථමික පිරිවැය (පොළී ගෙවීම් නොමැතිව රජයේ මුළු වියදම) පියවා ගෙන ප්‍රාථමික අතිරිත්කයක් වාර්තා කිරීමට රජයේ ආදායම ප්‍රමාණවත් විය.මීට අමතරව තවත් වැදගත් ප්‍රතිසංස්කරණ කීපයක් සිදුවූ නමුත් සමස්තයක් ලෙස ගත් කළ අභියෝගාත්මක දේශපාලන පසුබිමක් සහ ස්වභාවික ආපදාවන් ආර්ථිකයේ ප්‍රගතිය යම් තාක් දුරකට සීමා කරන ලද බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම පවසයි.

ද්වි වාර්ෂික ප්‍රකාශනයක් වන මෙම වාර්තාව ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රවණතා සහ ආර්ථිකය මුහුණපාන අවදානම් ගෝලීය පසුබිමක් තුළ විශ්ලේෂණය කරන අතර ආර්ථිකය සම්බන්ධ පුරෝකතනයක්ද සිදු කරයි.

ප්‍රධාන වශයෙන් ගත්කළ ස්වභාවික ආපදා නිසා 2017 වසරේදී රටේ ආර්ථික වර්ධනය වසර 16කින් සටහන් වූ අඩුම අගය (3.3%) වාර්තා කළ අතර නියඟයෙහි බලපෑම හා එකතු කළ අගය මත බදු අනුපාතය (VAT) වැඩි කිරීම උද්ධමනය වැඩි වීමට හේතු වූ බව ඇගයුම පවසයි.

තවද  නියඟය ඉහළ නිසා ගිය ඉන්ධන වියදම 2017 වසරේ ගෙවුම් ශේෂයට  අහිතකර බලපෑමක් ඇති කළ නමුත් රට තුළට ගලා ආ ප්‍රාග්ධන ප්‍රවාහයන්හි වර්ධනයක් නිසා 2018 අප්‍රේල් මාසයේ රටේ නිල විදේශ සංචිත ඉතිහාසයේ ඉහළම මට්ටමට ළඟා වී ඇත.

මධ්‍යකාලීනව රටේ පුද්ගලික පාරිභෝජනය හා ආයෝජන කටයුතු  හරහා ආර්ථික වර්ධනය 4.3%ක් පමණ වනු ඇතැයි විශ්වාස කෙරේ. VAT බද්ද සම්බන්ධයෙන් සිදු කරන ප්‍රතිසංස්කරණ සහ නව ආදායම් පනත රජයේ ආදායම ව්‍යූහාත්මක වශයෙන් ඉහළ දමනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම හා රටේ ආර්ථිකය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ රැල්ෆ් වෑන් ඩුන් පවසා සිටියේ රැකියා උත්පාදනය කරමින් ඉහල මැදි ආදායම් රටක් වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව රඳා පවතින්නේ ආර්ථිකයේ තරඟකාරීත්වය ඉහළ නංවමින් පුද්ගලික ආයෝජන වර්ධනය කිරීමට සිදු කරන ප්‍රතිසංස්කරණ මත බවයි. එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා දේශපාලනික කැපවීම මෙන්ම ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් අත්‍යාවශ්‍ය  බව රැල්ෆ් වෑන් ඩුන් තවදුරටත් පවසයි.

Image


Image

ප්‍රතිසංස්කරණ සුබවාදී හා ස්ථාවර ආර්ථික පුරෝකතනයක් සඳහා අත්‍යාවශ්‍ය වනු ඇත.

ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමට ශ්‍රී ලංකා ආර්ථිකයේ තරඟකාරීත්වය ඉහළ නැංවීම අත්‍යාවශය සාධකයකි.මෙම අවශ්‍යතාවය නිසි ලෙස හඳුනා ගෙන ඇති රජයේ  Vision 2025 ප්‍රතිපත්ති මාලාව, ප්‍රතිසංස්කරණ ගණනාවක්  යෝජනා කර ඇත. ආරක්ෂණවාදී බදු ඉවත් කිරීම , ව්‍යාපාර පවත්වාගෙන යාමට යහපත් පරිසරයක් උදා කිරීම, ව්‍යාපාර කටයුතු ඇරඹීමට හා පවත්වාගෙන යාමට අදාළ කාර්යාවලීන්හි කාර්යක්ෂම බව වැඩි කිරීම, වෙළඳ කටයුතුවලට පහසුකම් සැපයීම මින් ප්‍රධාන තැනක් ගනී. තවද  යහපාලනයට මෙන්ම රාජය මූල්‍ය ශක්තිමත් කිරීමටද ප්‍රතිසංස්කරණ ගණනාවක්  යෝජනා කර ඇත.

කෙසේ නමුත් මෙම යෝජනා ක්‍රියාවට නැංවීම යම් තරමකට මන්දගාමී  වී ඇති බවක් පෙනේ. ප්‍රධාන මැතිවරණ පැවැත්වෙන කාල වකවානුවන් අභියස සිටීම මෙම යෝජනා ක්‍රියාත්මක වීම මන්දගාමී වීමට හේතු විය හැක. බදු පරිපාලනය පිළිබඳ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වුවහොත් එය රාජ්‍ය මූල්‍ය ස්ථායිතාවයට අහිතකර ලෙස බලපෑ හැකි අතර මෑතක සිට නිතර සිදුවන ස්වභාවික ආපදා ආර්ථික වර්ධනයට මෙන්ම ගෙවුම් ශේෂයට, රාජය ආයවැයට හා දුගීකම පිටුදැකීමට අහිතකර බලපෑමක් ඇති කළ හැක. රාජ්‍ය ආදායම ඉහළ නංවමින් මුල්‍ය ස්ථායිතාවය පවත්වා ගැනීමට ක්‍රියා කිරීම කලාපයේ වයස්ගත වන රටක් වශයෙන් හඳුනාගෙන ඇති ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වනු ඇත.

Image

රාජ්‍ය සහ රාජ්‍ය ව්‍යවසායන්ගේ ණය බර මූල්‍ය ස්ථායිතාවයට ඇති මූලික අවදානමකි.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 77.4 ක් වන රාජ්‍ය ණය කලාපීය වශයෙන් මෙන්ම සමාන ආදායම් ලබන රටවල අතරද ඉහළ අගයක් ලෙස වාර්තා වේ. තවද ලබන 2019 සිට වසර කීපයක් ගතවනතුරු ගෙවීමට ඇති ස්වෛරී බැඳුම්කර රාජ්‍ය ණය කළමනාකරණයට ඇති ප්‍රබල අභියෝගයකි. මෑතකදී සම්මත කරගත් සක්‍රීය ණය කළමනාකරණ පනත මෙම ස්වෛරී ණය පිලිබඳ ඇති අවදානම් අඩු කිරීමට ගන්නා ලද සාර්ථක පළමු පියවරකි.

පිරිවැය ආවරණය කර ගත හැකි මිලක් නොමැති වීම  බොහෝ රාජ්‍ය ව්‍යවසායන්ට  අභියෝගයක් වන අතර, ඒ හරහා විශාල ණය බරක් රාජ්‍ය ව්‍යවසාය මත පැටවී ඇත. මෑතකදී ක්‍රියාත්මක කරන ලද ඉන්ධන මිල සූත්‍රය ප්‍රධාන වශයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම් හිඟය හා ණය බර අඩු කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.පිරිවැය ආවරණය කර ගත හැකි වන ලෙස මිල තීරණය වන සූත්‍රයක අවශ්‍යතාවය විදුලිබල ක්ෂේත්‍රයේද පවතී.

ගෝලීය වශයෙන් පොළි අනුපාතය ඉහල යන ප්‍රවණතාවයක් දක්නට ඇති පරිසරයක රාජ්‍ය මූල්‍ය විනය අත්‍යවශ්‍ය කරුණකි. රාජ්‍ය ව්‍යවසායන් මහා භාණ්ඩාගාරයේ ඇප සහිතව හා රහිතව බැංකුවලින් ලබාගෙන ඇති ණය හා ස්වභාවික ආපදාවලට හා ඊට අනුබද්ධ අවදානම් කළමණාකරණ සඳහා පුළුල් ප්‍රවේශයක් ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. යෝජිත ණය කළමණාකරණ කාර්යාලය පිහිටුවීම කඩිනම් කිරීම මේ සඳහා වැදගත් වේ.

Image

ගුණාත්මකභාවයෙන් යුත් රැකියා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීම ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමට ඉවහල් වේ.

පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිය වාර්ෂිකව 0.5% කින් පමණ අඩු වී ඇත. ශ්‍රම බලකාය තුළ ස්ත්‍රී සහහාගීත්වය අඩුවීම සහ තරුණ සේවා වියුක්තිය ඉහළයාම මීට ප්‍රධාන හේතු සාධකයන්ය. පුද්ගලික ආයෝජන පදනම් කර ගත් නව ආර්ථික ආකෘතියක් කරා යන ගමනේදි ඉහළ හැකියාවකින් යුත් නම්‍යශීලී ශ්‍රම බලකායක් සිටීම වැදගත් වේ.

රැකියා සැපයීම වර්ධනය කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම,ගෝලීය සහ කලාපීය නිෂ්පාදන දාමයන් සමඟ සම්බන්ධ වීම, ව්‍යාපාර කටයුතු සඳහා පහසු පරිසරයක් ඇති කිරීම මෙන්ම නව්‍යතා සහ ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ පියවරයන් අවශ්‍ය වනු ඇත. ශ්‍රම බලකාය තුළ ස්ත්‍රී සහහාගීත්වය වැඩි කිරීම සහ හැකියා පරිපූර්ණ තරුණ  පරපුරක් බිහි කිරීම ඉහල  මැදි ආදායම් රටක් කරා යන ගමනේදී මහත් රුකුලක් වනු ඇත. තවද ජාතික සේවා නියුක්තියට වඩා පහළ අනුපාතයක් වාර්තා කරන උතුරු-නැගෙනහිර පලාත්වල රැකියා අවස්ථා  ජනනය කිරීම සඳහා ඉහළ අවධානයක් යොමු විය යුතුය.

මෙම ප්‍රතිසංස්කරණ රැකියා අවස්ථා උත්පාදනයට මෙන්ම රජය අපේක්ෂා කරන ආකාරයේ දැනුම මත පදනම් වූ තරඟකාරී, ප්‍රතිලාභ සැම අතර බෙදී යන සමාජ වෙළඳපොල ක්‍රමයක් ඇති කිරීමට දායක වනු ඇත.

Image




Api
Api