Skip to Main Navigation
කථා සහ පිටපත් 2021, සැප්තැම්බර් 9

කොවිඩ් වසංගතයෙන් නැවත යථාතත්වයට පත්කිරීමේ ක‍්‍රියාවලියේදී, ශ්‍රී ලංකාව තුල , පරිසර හිතකාමී, ඔරොත්තු දීමේ හැකියාව සහිත , අන්තර්ග්‍රාහී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වනාන්තර තුලින් සිදුවන කාර්යයභාරය.

සුබ උදෑසනක් වේවා.

වනජීවී හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතානෙණි, වනජීවී ආරක්‍ෂණ, වනජීවි හා වනසම්පත් රාජ්‍ය  අමාත්‍යංශයේ ලේකම් පාලිත ප‍්‍රනාන්දු මහතාණෙනි, දේශකවරුනි, සාකච්ඡා මණ්ඩපයේ සම්භාවනීය සාමාජිකවරුනි, නෝනාවරුනි, මහත්වරුනි.

පළමුවෙන්ම, දැනට පවතින ගෝලීය වසංගතයෙන් බලපෑමට පත්වූවන්ට අපගේ අනුකම්පාව ලෝක බැංකුව වෙනුවෙන් පළකිරීමට මම කැමැත්තෙමි.  ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටත් සියලූදෙනා අන්තර්ග්‍රාහී වන අයුරින් රට  නැවත යථාතත්වයට පත්කිරීමටත් සහ ආර්ථික වර්ධනයක් ඇතිකිරීම සඳහාත් ශ‍්‍රී ලංකාවේ රජයට අඛණ්ඩව උපරිම සහාය ලබාදීමට අපි කටයුතු කරන්නෙමු. 

ඊළඟට, වනසංරක්ෂණ අංශය පිළිබඳ මහා සැලැස්ම 2021-2030 සකස් කිරීම පිළිබඳව නිවේදනය කිරීම සඳහා මෙම අවස්ථාව සංවිධානය කළ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට, පරිසර පද්ධති සංරක්‍ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතියට හා සංවිධායකයින්ට මාගේ ස්තූතිය පුදකරමි. තවද ශ‍්‍රී ලංකාවට ප‍්‍රතිලාභ අත්කර ගැනීම සඳහා නව උපායයමාර්ගික දිශානතීන්වලින් සමන්විත මෙම මහා සැලැස්ම සැකසීමේදී ශ‍්‍රී ලංකා රජය සමග පාර්ශවකරණයෙන් කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව අපි ඉතා සතුටට පත්වන්නෙමු.

වසංගතය පරාජය කිරීමට, සිය දුගී ජනතාවට සහයෝගය දැක්වීමට සහ පරිසරය ආරක්‍ෂාකර ගනිමින් ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට වෙර දරමින් සිටින ශ්‍රී ලංකාවට මෙම සන්ධිස්ථානය ඵෛතිහාසික වැදගත්කමක් ගෙන දෙන්නේ මක්නිසාදැයි සඳහන් කිරීමට මම දැන් කැමැත්තෙමි.

කොවිඞ් -19 ලොව පුරා අසරණ දුගී ජනතාවට දැඩි ලෙස පහර දුන්නේය; දරිද්‍රතාවය අඩු කිරීම සහ සාමුහික සමෘද්ධිය සඳහා වූ වසර ගණනාවක උත්සාහය කොවිඞ් -19 වසංගතය නිසා දශක ගණනාවකින් සිදුවූ දරුණුතම පසුබෑමට ලක්විය. පශ්චාත් වසංගත සමයේ යථාර්ථයන්ට  මුහුණදෙන අතරතුර රටවල් මෙම වසංගතයෙන් ඇතිවූ ඍණාත්මක බලපෑම් සඳහාද  සුවිශේෂී සහ හදිසි ජාතික සහ ගෝලීය ක්‍රියාමාර්ග මගින් කටයුතු කළ යුතුව ඇත.

2021 අප්‍රේල් මාසයේදී , අපගේ සාමාජික රටවල දරිද්‍රතාවය, දේශගුණික විපර්යාසයන් සහ අසමානතාවයන්ට නව විසඳුම් සොයා ගැනීම සඳහා වන ප‍්‍රවේශයක් ලෝක බැංකු කණ්ඩායම විසින් ප‍්‍රකාශයට පත් කරන ලදී. මේවා තිරසර විසඳුම් වන අතර පරිසරයට හානි සිදුනොකරමින්, ජනතාව දරිද්‍රතාවය පත් නොකරමින් ආර්ථික වර්ධනය සඳහා පුලුල් ප‍්‍රවේශයක් ලබා දෙයි. මෙය අපි හරිත, ඔරොත්තු දීමේ හැකියාව සහිත , අන්තර්ග්‍රාහී (GRID) සංවර්ධනයක් හෙවත් “ග්‍රිඩ්” -  (Green, Resilient and Inclusive Development or GRID) ලෙස හඳුන්වන්නෙමු.

ඒකාබද්ධ  “ග්‍රිඩ්” ප‍්‍රවේශයක් අනුගමනය කිරීම තුලින් කොවිඩ්-19 නිසා ඇතිවූ ක්‍ෂණික විනාශය සහ දේශගුණික විපර්යාසයේ දිගුකාලීන අභියෝග යන ගැටලු දෙකම විසඳෙන අතර, ඉහළ යන දරිද්‍රතාවය සහ වර්ධනයවන අසමානතාවය සමනය කරන පරිසර හිතකාමී, ඔරොත්තු දීමේ හැකියාව සහිත , අන්තර්ග්‍රාහී ආකාරයට නැවත යථා තත්වයට පත්වීම සඳහා සහයෝගය දැක්වීමේ අවස්ථාවක් අපට ලැබේ.

ප‍්‍රතිසාධනය සහ සංවර්ධනය සඳහා සමබර ප‍්‍රවේශයක් ගැනීමට ශ්‍රී ලංකා රජය දරණ උත්සාහය හදවතින්ම සතුට දනවන කරුණකි. මීට ඉහතදී පළකළ අදහස් අනුව අපට පෙනීයන්නේ ශ්‍රී ලංකා වන ක්ෂේත්‍ර මහා සැලැස්ම ගොඩනැගෙනු ඇත්තේ වසර 30ක පළපුරුද්ද සහ මීට පෙර සැලැස්මෙන් උගත් පාඩම් මතය. තවද ආර්ථික අවශ්‍යතා සපුරා ගනිමින් වනාන්තර ප‍්‍රදේශ හොඳින් සංරක්‍ෂණය කර ප‍්‍රතිසංස්කරණය කිරීම සහ මානව යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ වනාන්තර කළමනාකරණය සඳහා වූ නව ක්‍රමවේදයන් ඊට ඇතුලත්  කිරීමට අපේක්ෂා කෙරේ.  

ශ්‍රී ලංකාවේ වනාන්නතර අද්විතීය වන අතර ගෝලීය වශයෙන් පිළිගැනීමට සහ ඇගයීමට ලක් වී ඇත. ඒවා විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රජාවට දැව හා දැව නොවන සම්පත් ලබා දෙනවා පමණක් නොව, කෘෂිකර්මාන්තය සහ ගොවිතැන වැඩි දියුණු කිරීම, ජලය සැපයීම සහ පාලනය, පස, වෙරළ තීරය සුරැකීම, ව්‍යාපාර සහ ප‍්‍රජාව ඛාදනයෙන් සහ ස්වාභාවික විපත් වලින් ආරක්‍ෂා කරයි.

ආර්ථික වශයෙන් සලකාබලන විට, ජාතික ගිණුම් වලට ඇතුළත් කර ඇති පරිදි ප‍්‍රධාන වශයෙන් දැව සහ දැව නිෂ්පාන වලින් උපයන ලද දළ අගය 2019  දී රුපියල් බිලියන 212.8 ක් වූ අතර එය ඩොලර් බිලියනයකට වැඩිය. එනමුත්, ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් සපයනු ලබන විවිධ ස්වාභාවික ප‍්‍රාග්ධන හා පරිසර පද්ධති සේවාවන් පිළිබඳව සළකා බලන්නේ නම් එය ඉතා විශාල අගයක්  වන අතර  එහි ඇස්තමේන්තු ගත මුදල ඩොලර් බිලියන 5.6 කි. මිලියන ගණනක ප‍්‍රජාව වනාන්තර ආසන්නයේ සහ ඒවා ඇතුලත ජීවත් වන අතර, එහි සම්පත් ඍජුව හෝ වක‍්‍රව භාවිතා කරන බව ද අප වටහාගෙන ඇත්තෙමු.

ග‍්‍රාමීය දුගී ප‍්‍රජාවට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වනාන්තර වලින් සිදුවන වැදගත් කාර්යභාරය ලෝක බැංකුව වටහාගෙන තිබෙන අතර මෙම නව උපායමාර්ගය සංවර්ධනය කිරීමට සම්පූර්ණ සහාය ලබාදෙන්නමු. දැනට ක්‍රියාත්මක කෙරෙන ඩොලර් මිලියන 35ක පරිසර පද්ධති සංරක්‍ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතිය මගින් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහාය දක්වනු ලැබේ.  මෙම ක්ෂේත‍්‍රය සඳහා තිරසර ක‍්‍රමෝපායයන් හා ආයෝජන සැලසුම් සකස් කිරීමේදී අපි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අනෙකුත් පාර්ශවකරුවන් සමග අත්වැල් බැඳගෙන  ක‍්‍රියාකරන්නෙමු.

රටක සංවර්ධනය සඳහා මෙවැනි ඵලදායී ප‍්‍රායෝගික මහා සැලැස්මක් සංවර්ධනය කිරීම හා ඒ සම්බන්ධයෙන් එකගත්වයක් ඇතිකරගැනීම වැදගත් වන්නේ රටක වනාන්තර ප‍්‍රතිෂ්ඨාපණය සහ තිරසරව සහ බහුවිධව භාවිතා කිරීම මගින් ඒවා සෘජව භාවිතා කරන හෝ ඒවා වටා ජීවත්වන පිරිසට පමණක් නොව  සමස්ත ආර්ථිකයටම ප‍්‍රතිලාභ ගෙනදෙන බැවිනි.

මහා සැලැස්මේ උපායමාර්ග සහ ක්‍රියාකාරකම් මගින් දේශගුණිකව සුහුරු කෘෂිකර්මාන්තය, සොබාදහම පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය සහ සෞඛ්‍ය අංශ වැනි සංවර්ධන අංශ කිහිපයකටම සෙත සැලසෙනු ඇත.

අවසාන වශයෙන්, 2021-2030 වන සංරක්‍ෂණ මහා සැලැස්ම සකස් කිරීම සඳහා වූ පුලූල් උපදේශනාත්මක ක‍්‍රියාවලියේදී වන විද්‍යා අංශ ප‍්‍රවීණයින්, වන සංරක්‍ෂකයින්, විවිධ ක්‍ෂෙත‍්‍රයන්ට සහ විෂයයන්ට අදාළ වෘත්තිකයින්, රාජ්‍ය ආයතන, සිවිල් සංවිධාන, පෞද්ගලික අංශයේ සංවිධාන සහ ජනමාධ්‍ය වැනි විවිධ පාර්ශවකරුවන් සම්බන්ධකර ගැනීමට රජය දරණ උත්සාහය මම අගය කරන්නෙමි.

මාගේ කථාවට ඔබගේ අවධානය ලබාදීම පිළිබඳව ස්තූතියි.  මෙම ක‍්‍රියාවලිය සාර්ථකවේවායි මා ප‍්‍රාර්ථනා කරන අතර ක්‍රියාවලිය අවසානයේ වන සංරක්‍ෂණ මහා සැලැස්ම දැක බලාගැනීමට අපේක්ෂා කරනවා

Api
Api