Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2017, ජූලි 17

උසස් අධ්‍යාපනයට ආධාර පිණිස ශ්‍රී ලංකාව හා ලෝක බැංකුව අතර ඩොලර් මිලියන සියයක ණය ගිවිසුමක් අත්සන් තැබේ

කොළඹ - 2017 ජූලි 17 - ශ්‍රී ලංකාව සිය උසස් අධ්‍යාපන තත්වය ඉහළ නැංවීම සඳහා මූල්‍යාධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය ගිවිසුමකට ලෝක බැංකුව සමග අත්සන් තැබී ය. මේ හා අනුබද්ධ වැඩසටහන හරහා ඉහළ ඉල්ලුමක් සහිත පාඨමාලා සඳහා වැඩි විද්‍යාර්ථීන් සංඛ්‍යාවක් බඳවා ගැනීමටත්, උපාධි පාඨමාලාවන්හි තත්වය ඉහළ නැංවීමට හා පර්යේෂණ හා නවෝත්පාදන නැංවීමටත් සහාය සැළසීමට නියමිත ය.

අද (ජූලි මස 14 වැනි දින) අත්සන් තැබුණු, 'උසස් අධ්‍යාපන පුළුල්කරණය, වේගවත් කිරීම හා සංවර්ධනය (Accelerating Higher Education Expansion and Development - AHEAD)' නමැති මෙම නව වැඩසටහන, ලෝක බැංකුවේ ප්‍ර‍තිඵල පදනම් කරගත් වැඩසටහන් (  Program for Results lending instrument ) නමැති මූල්‍ය උපකරණය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවෙන පළමුවැන්නයි.. මෙය ඵලදායිතාවය වැඩිදියුණු කිරීම සඳහා ස්ථිර ක්‍රියාකාරකම් සඳහා ආයෝජනය කරන අතරම ආයතනික හැකියාවන් ගොඩ නැංවීම සඳහා ද අවධානය යොමු කරන්නකි.

ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරිය වන අයිඩා ස්වරායි රිඩිහොෆ් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග විසින් ලෝක බැංකුව හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම වැඩසටහන සදහා අත්සන් තබන ලදී.

"ඉහළ මැදි ආදායම්ලාභී රටක් බවට පත් වීමේ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව එහි ජනතාව කෙතරම් පුහුණු සහ බහුනිපුණ වන්නේ ද යන්න මත රඳා පවතියි. උසස් අධ්‍යාපන පද්ධතිය රට තුළ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක වීමට හැකි කුසලතාවලින් හෙබි පුරවැසියන් නිර්මාණය සදහා දායක විය යුතු යැයි “ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන අයිඩා ස්වරායි රිඩිහොෆ් සදහන් කළා ය.

2014 වර්ෂය වන විට, රටවල් 115ක් අතුරින් උසස් අධ්‍යාපන අංශයේ සහභාගීත්වය අතින් ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 88 වන ස්ථානයයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා පිවිසෙන අගය 21%ක රැඳෙමින්, පහළ මැදි ආදායම් රටවල සාමාන්‍යය වුණු 23%ක අගයට හා ඉහළ මැදි ආදායම් රටවල සාමාන්‍යය වුණු 44%ක අගයට බොහෝ පහතින් පැවතිණ. විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනය පිණිස වැදගත්කමක් දරණ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත විෂය ක්ෂේත්‍රයන් වෙත ශිෂ්‍ය සහභාගීත්වය ඉහළ නංවා ගැනීම පිණිස ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු ව ඇත. මෙම නව AHEAD ව්‍යාපෘතියේ ප්‍රමුඛ අවධානය යොමු වන්නේ උපාධි පාඨමාලාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමත්, ඉගැනුම්, උගැනුම් සහ ඇගයුම් ක්‍රමවේද පුළුල් කරවීමට විශ්වවිද්‍යාල සක්‍රීය කරවීමත් හා අවසානයේ උපාධිධාරීන්ගේ සමාජ, ආර්ථික දායකත්වය ඉහළ නැංවීමත් වෙත ය.

මෙය රජයේ උසස් අධ්‍යාපනය පිළිබද උපායමාර්ගික සැලැස්මට සහයෝගය දක්වන, ප්‍රතිඵල-ඉලක්කගත වැඩසටහන්හි පළමුවැන්න බව" ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විශේෂඥ හර්ෂ අතුරුපාන පැවසී ය. “ඉහළ මැදි ආදායම්ලාභි රටක් බවට පත් වනු පිණිස වන ශ්‍රී ලංකාවේ අපේක්ෂාවන් සපුරා ගනු වස් දැනුම සහ තාක්ෂණය මුල් කොටගත් කර්මාන්ත සහ සේවා පුළුල් කිරීමට පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන ප්‍රවර්ධනය අත්‍යාවශ්‍ය වේ."

2023න් අවසන් වන සය අවුරුදු ව්‍යාපෘති කාල සීමාව තුළ, විවිධාකාර උසස් අධ්‍යාපන ආයතනවල වන 600,000ක් පමණ වෙතැයි ගණනය කළ ශිෂ්‍ය ප්‍රජාව සහ ආසන්න වශයෙන් 5,000ක් පමණ වන ආචාර්යවරුන්, කළමණාකරුවන් සහ තාක්ෂණික නිලධාරීන් මෙම වැඩසටහනෙහි සෘජු ප්‍රතිලාභ හිමිකර ගනු ඇත. ඉහළ සුදුසුකම් සහිත උපාධිධාරීන් සේවයට ඒක් කර ගැනීමට වරම් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශයන්, විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කොට ප්‍රතිසංස්කරණය කිරීමේ හා සංවර්ධනය කිරීමේ වාසි ලබන විශ්වවිද්‍යාලවල අනාගත විද්‍යාර්ථීන්ගේ සහ කාර්ය මණ්ඩලයන්හි අනාගත පරපුර, පර්යේෂණ හා නවෝත්පාදන ක්‍රියාකාරකම්වල ප්‍රතිලාභ ලබන රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන, වැඩසටහනෙහි සෙසු ප්‍රතිලාභ ලබන්නන් වනු ඇත.


සම්බන්ධ වන්න

In Colombo:
Dilinika Peiris
+94 (011) 5561347
dpeiris@worldbank.org
Api
Api