විශේෂාංග කථාව 2017, නොවැම්බර් 1

ශී‍්‍ර ලංකා සංවර්ධන ඇගයුම : නවමු අවස්ථා නිර්මාණය කිරීම හා ඒ හා බැඳුණු අවදානම් කළමණාකරණය තිරසර සංවර්ධනය සඳහා අතිශය වැදගත් වේ.

Image

Download the  November 2017 edition of the Sri Lanka Development Update Creating Opportunities and Managing Risks for Sustained Growth


කථා සාරය

  • ශ‍්‍රී ලංකාව පෞද්ගලික ආයෝජන හා අපනයන මුල් කරගත් ආර්ථිකයක් කරා ගමන් කිරීමට සුභවාදී පියවර ගනිමින් සිටී.
  • මෙම නව ආර්ථික ක‍්‍රමෝපාය කරා යන ගමනේදී දැනට පවත්නා ආර්ථික අවදානම් අඩු වන නමුත් නව අවදානම්වලට මුහුණ දීමට සිදුවනු ඇත.
  • අවදානම් කළමණාකරණය තිරසර සංවර්ධනයට මං පෙත් විවර කරනු ඇති අතර ඒ සඳහා ක‍්‍රමානුකූල ප‍්‍රවේශයක් අවශ්‍ය වේ.

2017 වසරේ පළමු අර්ධයේ රටේ ආර්ථික සංවර්ධනය අධ්‍යයනය කරන ලෝක බැංකුවේ ශ‍්‍රී ලංකා සංවර්ධනය පිළිබඳ ඇගයුම ශ‍්‍රී ලංකාව තීරණාත්මක සංධිස්ථානයක පසු වන බව සඳහන් කරයි. පශ්චාත් යුද සමයේ රට ඉදිරියේ සංවර්ධනයට ඇති සියලුම අවස්ථා ප‍්‍රයෝජනයට ගනිමින් දුගී බව දුරුකිරීමට හා ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැංවීමට පියවර ගත යුතුය.

ඒ සඳහා හොඳම ක‍්‍රමෝපාය වනුයේ රාජ්‍ය ආයෝජනයන් හා වෙළද නොවන ක්ෂේ‍්‍ත‍්‍රයන් පදනම් කරගත් ආර්ථික ක‍්‍රමයෙන් ක‍්‍රමිකව ඉවත් වෙමින් පුද්ගලික ආයෝජන හා අපනයන පදනම් කරගත් ආර්ථික ක‍්‍රමයකට ගමන් කිරීමයි. මෙම වැදගත් ක‍්‍රමෝපාය වෙනස ලෝකයේ වේගයෙන් සංවර්ධනය වන විශාල ආර්ථිකයන්ට භූගෝලීය වශයෙන් ආසන්නව සිටීම නිසා ලැබිය හැකි වාසි අත්පත් කර ගැනීමට මග පාදනු ඇත.

2017 වසර සඳහා වන දෙවන ශ‍්‍රී ලංකා සංවර්ධන ඇගයුම වර්ෂයේ පළමු භාගයේ ආර්ථිකයේ ක‍්‍රියාකාරීත්වය සමස්තයක් ලෙස සතුටුදායක මට්ටමක පැවති බව සඳහන් කරයි. රාජ්‍ය මූල්‍ය හා මහ බැංකු මූල්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳව ගන්නා ලද සාධනීය පියවරයන් ආර්ථික ස්ථායීතාවය සඳහා හේතු වී ඇත.

ආදායම වැඩි කරගනිමින් රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය කරා ගමන් කිරීම අරමුණු කොටගෙන 2017 සැප්තැම්බර් මාසයේ නව දේශීය ආදායම් පනතක් සම්මත කර ගැනීම සිදු කෙරිණි. පසු ගිය වසරේදී සිදු කරන ලද එකතු කළ අගය මත බද්ද සම්බන්ධ ප‍්‍රතිසංස්කරණ මේ වසරේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයට උපකාරී වනු ඇත. මෙම ආදායම් වැඩි කිරීමේ ක‍්‍රියා මාර්ග වසර තුළ රාජ්‍ය මූල්‍ය ප‍්‍රාථමික අතිරික්තයක් ඇති කොට ඒ හරහා රාජ්‍ය අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 5.1% දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කළ හැක. මේ අනුව 2012 වසරේ සිට දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් ලෙස ඉහළ යමින් පැවති රාජ්‍ය ණය 2017 වසරේ දී ස්ථායී බවක් දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

තවද යුරෝපා සංගමයේ අදාළ අවශ්‍යතා සමඟ සම්පූර්ණයෙන්ම අනුගත නොවූවදූ GSP+ නැවත ලබා ගැනීමට හැකි වීම රටේ අපනයනය වර්ධනය කර ගැනීමට ඉවහල් වන ජයග‍්‍රහණයකි.

මෙවැනි සාර්ථකත්වයන් පෙන්නුම් කළද වැදගත් ප‍්‍රත්සංස්කරණ කිහිපයක් පසුගාමී බවත් දක්නට ලැබෙන බව වාර්තාව සඳහන් කරයි. ඒ අතර විදේශීය ආයෝජන ප‍්‍රවර්ධනය සඳහා එක් මධ්‍යගත ආයතනයක් ( One-stop Shop) ස්ථාපනය කිරීම, වෙළඳ හා ආයෝජන පරිසරය දියුණු කිරීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම වැනි රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය ආදී කරුණු පිළිබඳ ප‍්‍රතිසංස්කරණ වැදගත් තැනක් ගනියි.

ඉහළ- මැදි ආදායම් රටක් බවට පත්වීමට ග‍්‍රී ලංකාව දරණ උත්සාහයේ දී අදාළ ප‍්‍රතිසංස්කරණ සිදුකරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍යම කරුණකි.

රට හමුවේ ඇති ආර්ථික අභියෝග පිළිබඳ අදහස් දක්වන ශ‍්‍රී ලංකාව හා  මාලදිවයින පිළිබඳ ආර්ථික විශේෂඥ රැල්ෆ් වෑන් ඩූන් ‘‘ ආර්ථික ඉලක්ක ළගා කර ගැනීමට ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම මෙන්ම ස්වාභාවික ආපදාවන්ට සාර්ථකව මුහුණ දීමට හැකි වීම වැදගත් වේ. ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි දියුණු කරමින් විදේශ ආයෝජන වැඩි කිරීමට අදාළ ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ සිදු කරන විට දුගී බවෙන් පෙලෙන ජනතාව හා ප‍්‍රතිසංසකරණවලින් බලපෑමට ලක්වන ජනතාව අමතක නොකළ යුතුය. එසේ බලපෑමට ලක් වන ජනතාව ආරක්ෂා කිරීම හා නව ආර්ථික අවස්ථා උදාකර ගැනීමට උදව් කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමට පසුබට නොවිය යුතුය. තවද විනිවිද භාවය හා වගවීමට අදාළ ප‍්‍රතිසංස්කරණද ඉතාමත් වැදගත් වනු ඇත. ශ‍්‍රී ලංකා සංවර්ධන ඇගයුම මෙවර සංස්කරණයේදී තිරසාර සංවර්ධනය සඳහා අවදානම් කළමණාකරණය විශේෂ තේමාවක් ලෙස විශ්ලේෂණය කරයි. ශ‍්‍රී ලංකාවට පුද්ගලික ආයෝජන හා අපනයනය පදනම් කරගත් ආර්ථික ක‍්‍රමෝපාය කරා ගමන් කිරීමේදී දැනට පවත්නා ආර්ථික අවදානම අඩු වන නමුත් නව අවදානම්වලට මුහුණ දීමට සිදුවනු ඇත.

ඒ අනුව සංවර්ධන ඇගයුම අවදානම් පවුල් ඒකක නැතහොත් කුටුම්භ, ආයතන ,රාජ්‍ය අංශය හා මුළු මහත්  ආර්ථිකය යනාදී මට්ටම්වලදී කළමණාකරණය කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කරයි.

වාර්තාවේ අන්තර්ගත අනෙකුත් මූලික කරණු පහත දැක්වේ.

1. ආර්ථික වර්ධනය ඉහළ යාමක් හා රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් ලෙස පහළයාමක් අපේක්ෂා කෙරේ.

2017 දළ දේශීය නිෂ්පාදනය 4.6%කින් වර්ධනය වනු ඇති අතර පුද්ගලික ආයෝජන හා පරිභෝජනය නිසා මැදි කාලීනව එය 5% ඉක්මවනු ඇතැයි අපේක්ෂා කළ හැක. පුද්ගලික ආයෝජන හා අපනයන පදනම් කරගත් නව ආර්ථික ක‍්‍රමෝපාය ආර්ථික වර්ධනය ඉහළ දැමීමට හේතු වනු ඇත. දැනට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින උද්ධමන අනුපාතය වසර අවසානය වන විට යම් අඩුවීමක් ප‍්‍රදර්ශනය කරනු ඇත.

දළ දේශීය නිෂ්පාදනයේ  ප‍්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය පහළ යනු ඇති අතර ඒ සඳහා රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන අයවැය හිඟය අවම කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව බරපතල ආපදා තත්වයන් ඇති නොවුවහොත් 2017 වසර අවසන් වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සුළු වශයෙන් අඩුවීමක් ප‍්‍රදර්ශනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2. රාජ්‍ය  මුල්‍ය ස්ථාවර්ත්වය වර්ධනය කරමින් දිගටම පවත්වා ගැනීම

රාජ්‍ය ණය සම්බන්ධව  ඇති අවදානම් කළමණාකරණය ශ‍්‍රී ලංකා සංවර්ධන ඇගයුම අවධාරණය කරයි. රාජ්‍ය වියදම් කලමණාකරණය ඉතා වැදගත් වන අතර ආපදා තත්වයකට මුහුණ දීමට රාජ්‍ය අයවැයේ ඇති හැකියාව වර්ධනය කළ යුතුය.

2017 වසරේද ස්වභාවික ආපදා රාජ්‍ය අයවැයට මෙන්ම අනෙකුත් සියළු ක්ෂේත‍්‍රයන්ටද බලපෑමක් ඇති කළේ ය.   නියඟයට ගොදුරු වී කෘෂිකාර්මික නිෂ්පාදනය පහත වැටුණු අතර ආහාර මිළ වැඩි වීම උද්ධමනය වැඩි වීමටද හේතු විය. විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම පහළ යෑම නිසා තාප බලාගාර වලට අවශ්‍ය ඛනිජ තෙල්  හා ගල් අගුරු ආනයනය සඳහා වු ඉල්ලූම වැඩි වූ අතර ආහාර ආනයන වියදමද වැඩි වීමට ද නියඟය හේතුවක් විය. අත්‍යාවශ්‍ය ආහාර ආනයනවලට අදාල බදු ලිහිල් කිරීම රජයේ ආදායමට බලපැමක් කල අතර  නියං සහන වියදම් රාජ්‍ය වැය බරට එකතු විය.

වයස්ගත වන ජනගහනය රාජ්‍ය අයවැයට අනාගතයේ බලපෑමක් ඇති කරනු ඇත. කලාපීය මට්ටමෙන් ගත් කළ ශ‍්‍රී ලංකාව වේගයෙන් වයස්ගත වන රටක් ලෙස හඳුනාගත හැක. ඒ අනුව අවශ්‍ය වන වි‍ශ්‍රාම වැටුප්, සෞඛ්‍ය පහසුකම් හා අදාල වියදම්, සමාජ ආරක්ෂණය සඳහා ආර්ථිකය හා රාජ්‍ය අය වැය සූදානම් වීම අනිවාර්ය වේ. තවද රාජ්‍ය ස්ථාවරත්වය වර්ධනය තුළින් ගෝලීය මුල්‍ය වෙළඳපොල හරහා මූල්‍ය සම්පාදනය කිරීමේ ඇති අවශ්‍යතාවය අවම කොට ගෝලීය මට්ටමේ සිදු වන උච්චාවචනයන්ගේ බලපෑම අවම කර ගැනීමට හැකි වනු ඇත.

3. අවදානම් කළමණාකරණය හා නව ආර්ථික අවස්ථා උත්පාදනය තිරසර සංවර්ධනය සදහා අත්‍යාවශ්‍ය වේ.

2014 වසරේ ඉදිරිපත් කරන ලද ලෝක සංවර්ධන වාර්තාව හඳුන්වා දුන් අවදානම් කළමණාකරණය කිරීමේ ආකෘතිය භාවිත කරමින් තිරසර සංවර්ධනය කරා පිය නැගිය යුතු බව ශ‍්‍රී ලංකා සංවර්ධන ඇගයුම යෝජනා කරයි.

ආර්ථික සංවර්ධනයට සමග අවදානම් බැඳී ඇති අතර රාජ්‍ය හා පුද්ගලික මට්ටම්වලදී ගන්නා පියවරයන් හරහා එම අවදානම්  අවම කර ගත හැකිය.

දැනට ආරම්භකර ඇති මෙන්ම සැලසුම් මට්ටමේ පවතින ප‍්‍රතිසංස්කරණ බොහෝ සුභදායී ප‍්‍රථිපල ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ. තිරසර සංවර්ධනය , නව රැකියා අවස්ථා, ස්වභාවික ආපදාවලින් වන හානිය අවම කර ගැනීම, නව ව්‍යාපාර අවස්ථා හා අපනයන, වැඩිදියුණු වූ යටිතල පහසුකම් හා ස්ථාවර ආර්ථිකයන් ඒ අතර ප‍්‍රධාන තැනක් ගනු ඇත. නමුත් ප‍්‍රතිසංස්කරණවලින් බලපෑමක් ඇතිවන ආර්ථික ඒකකයන් ආරක්ෂා කිරීම හා නව ආර්ථික අවස්ථා උදාකර ගැනීමට උදව් කිරීමට රාජ්‍ය ප‍්‍රතිපත්තීන් මෙහෙය විය යුතුය.

රාජ්‍ය මුල්‍ය හා ජාත්‍යන්තර වෙළදාම සම්බන්ධව සිදුකරන ප‍්‍රතිසංස්කරණවලින් සිදුවන බලපෑම් අවම කර ගැනීමට පියවර ගත යුතුය. සවිමත් හා ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහන්, නව හැකියාවන් වර්ධනයට අවශ්‍ය ආධාර, ඉහළ නම්‍යශීලීත්වයකින් යුත් විශ‍්‍රාම වැඩසටහන් එවැනි පියවරයන්ට උදාහරණ ලෙස සැළකිය හැකිය. ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම හා ජාත්‍යන්තර වෙළඳ ගණුදෙණුවලට පහසුකම් සැළසීම සේවකයන්ට හා සේව්‍යන්ට නව ආර්ථික අවස්ථාවල ප‍්‍රථිලාභ ලබා ගැනීමට උපකාරී වනු ඇත.  




Api
Api