Learn how the World Bank Group is helping countries with COVID-19 (coronavirus). Find Out

විශේෂාංග කථාව

ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකය සමග අත්වැල් බැඳගත යුත්තේ කෙසේ ද?

2017, මැයි 29


Image

සාධාරණත්වය පදනම් වූ වර්ධනය, මූල්‍ය අංශය සහ ආයතන ව්‍යුහයන් සඳහා වන ලෝක බැංකු උප සභාපති ජාන් වැලිසර් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර, මැයි මස 12 වැනි දින TV 1 රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් විය.


පුවතෙහි විශේෂාංග
  • ලෝක බැංකු උප සභාපති වැලිසර් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමටත් ආර්ථිකය වඩාත් තරගකාරී තත්වයකට ගෙන ඒමටත් අවශ්‍ය ප්‍ර‍තිසංස්කරණ කවරේදැයි සාකච්ඡා කරයි.
  • ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම, ආයෝජන ප්‍ර‍වර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම හා නැගී එන තිරසාර සංචාරක ක්ෂේත්‍ර‍ය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආයෝජන වර්ධනය කරගත හැක.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සාර්ථකව භාවිතයේ යෙදවීම මගින් ප්‍ර‍තිසංස්කරණ සඳහා වඩාත් හිතකර පරිසරයක් බිහි කරගත හැක.

සාධාරණත්වය පදනම් වූ වර්ධනය, මූල්‍ය අංශය සහ ආයතන ව්‍යුහයන් සඳහා වන ලෝක බැංකු උප සභාපති ජාන් වැලිසර් මහතා පසුගිය මැයි මස මුලදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර ඒ අතරතුර රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු, පෞද්ගලික අංශයේ ප්‍ර‍ධාන නියෝජිතයින් කිහිප දෙනෙකු සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමෙහි සාමාජිකයින් මුණගැසිණ.

මෙම සංචාරය, ආර්ථිකය සවිබල ගැන්වීම හා සාධාරණත්වය පදනම් වූ වර්ධනය ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් පුළුල් රාජ්‍ය මූල්‍ය, ආර්ථික, හා රාජ්‍යපාලන ප්‍රතිසංස්කරණයන්හි ප්‍ර‍ගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවකාශ සළසා දුන්නේ ය.

රජයේ සංවර්ධන වැඩපිළිවෙල අපනයන හා සෘජු විදේශ ආයෝජන ප්‍ර‍වර්ධනය ඉලක්ක කරගන්නා අතර ඒ හරහා පෞද්ගලික අංශයේ රැකියා වැඩි කිරීමටත් දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි අගය එකතු කිරීම් ඉහළ  දැමීමටත් අපේක්ෂා කෙරේ.

වැලිසර් මහතා සඳහන් කරන්නේ එම ඉලක්කයන් වෙත ළඟාවීමට රජය සිය ආර්ථිකයේ තරගකාරීත්වය ප්‍ර‍වර්ධනය කිරීම අවශ්‍ය බවයි.

පහත දැක්වෙන්නේ ගෝලීය ආර්ථිකය සමග තවදුරටත් අත්වැල් බැඳගැනීම සඳහා සාර්ථක ප්‍ර‍තිසංස්කරණ ඉවහල් වන ආකාරය පිළිබඳ වැලිසර් මහතා දැක්වූ අදහස් එකතුවෙහි සාරාංශයකි.

වඩා තරගකාරී ආර්ථිකයක් සඳහා පදනම සැකසීම

ශ්‍ර‍ී ලාංකික ජනතාවගේ නිපුණතා සහ හැකියාවන් පදනම් කොටගෙන ගෝලීය නිපයුම් දාමයන් හා සම්බන්ධ වීම මගින් රැකියා අවස්ථා ඉහළ නැංවිය හැක.

පෞද්ගලික අංශයට අවශ්‍ය මූල්‍ය පහසුකම්  වැඩිදියුණු  කිරීම වැනි ව්‍යාපාරික පරිසරය ප්‍ර‍වර්ධනය කිරීමට  ගන්නා  පියවරත්, ‍ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමත්‍ ඉහත ඉලක්ක ළඟා කරගැනීමට ආධාර කරනු  ඇත.

ජීඑස්පී ප්ලස් වැනි ජාත්‍යන්තර සහයෝගීතා ගිවිසුම් හරහා යුරෝපා සංගමය වෙත භාණ්ඩ අපනයනය කරන සංවර්ධනය වන රටවල් හමුවේ ඇති තීරු බදු සම්බන්ධ බාධක ඉවත් කරගැනීම වාසිදායක ය. එනමුත්, ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය දිගුකාලීන උපායමාර්ග පිළිබඳ උනන්දු වීම වැදගත් වනු ඇත.

ආර්ථිකයේ නාගරීකරණ රටාව, ව්‍යාපාර කේන්ද්‍ර‍ණය වී ඇති ආකාරය ගැන විමර්ෂණය කිරීම යටිතල පහසුකම්වල අඩුපාඩු හඳුනාගැනීම සඳහාත්, ආරම්භ කෙරෙන නව කර්මාන්තයන්ට අවශ්‍ය පරිසරය සැකසීම සඳහාත් පහසුවක් වනු ඇත.

“ප්‍ර‍තිපත්ති හා නීතිමය රාමු සහ යටිතල පහසුකම් නිසි ලෙස ස්ථානගතව පැවතිය යුතු” යැයි වැලිසර් මහතා  කියයි. විශාල පරිමාණ (මෙගා) ව්‍යාපෘති දේශීය ආර්ථිකය සමග අත්වැල් බැඳගන්නා බවට සහතික කරගැනීම වැදගත් ය.

අධ්‍යාපනය සඳහා සිදු කරන ආයෝජන පෞද්ගලික අංශයේ නැගී එන අවශ්‍යතා සපුරන පරිදි සිදුවිය යුතු අතර, නව උපාධිධාරීන් ඵලදායී රැකියාවල නිරත වීමේ අවස්ථා ඒ හරහා ඉහළ යනු ඇත.  

සේවා ක්ෂේත්‍ර‍යේ වර්ධනය, සේවා යෝජකයින් විසින් අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණය, භාණ්ඩ හා සේවා මෙහෙයුම්වලට අදාල සේවාවන් වැනි ක්ෂේත්‍ර‍වල පුහුණුව ලබා ගැනීමට ශ්‍ර‍ී ලාංකිකයින්ට බොහෝ අවස්ථා සළසා දෙනු ඇත.  

“රජයේ සහයෝගාත්මක ප්‍ර‍තිපත්ති සැලසුම් හරහා ගෝලීය වෙළඳපොළ කොටස ඉහළ නංවා ගැනීමට ශ්‍ර‍ී ලංකාවට හැකි  වනු ඇත“ යනුවෙන් වැලිසර් කියයි.

ශ්‍ර‍ී ලංකාව ගෝලීය ආර්ථිකය හා හොඳින් අත්වැල්  බැදගන්නේ කෙසේ ද?

සිය ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම සහ Doing Business  වැනි ජාත්‍යන්තර ශ්‍රේණිගතකරණයක ඉහළ නැගීම තුළින් ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජකයන් සඳහා වඩාත් ආකර්ෂණීය පසුබිමක් සකස් කළ හැක.

ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අවධානය යොමු කිරීම, ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වන ආකාරයේ අවධානයන් වෙත ආයෝජකයින් යොමු කරනු ඇති බව වැලිසර් මහතා සඳහන් කරයි. අවශ්‍ය යටිතල පහසුකම්  සහ අභිවෘද්ධියට ඇති බාධා හඳුනාගන්නා ක්‍රමෝපාය සැලසුමක් හරහා සංචාරක කර්මාන්තය වඩාත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමට හැකි වනු ඇත.


" රජයේ සහයෝගාත්මක ප්‍ර‍තිපත්ති සැලසුම් හරහා ගෝලීය වෙළඳපොළ කොටස ඉහළ නංවා ගැනීමට ශ්‍ර‍ී ලංකාවට හැකි වනු ඇත  "

ජාන් වැලිසර්

සාධාරණත්වය පදනම් වූ වර්ධනය, මූල්‍ය අංශය සහ ආයතන ව්‍යුහයන් සඳහා වන ලෝක බැංකු උප සභාපති

ඉහළ තරගකාරීත්වය ඉලක්ක ශ්‍රී ලංකාවේ බදු ප්‍ර‍තිසංස්කරණ

දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක් පමණක් බදුවලින් රැස් කරගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාව දැඩිව බදු ප‍්‍රතිසංස්කරණයන් වෙත යොමු විය යුතු ය. පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන්  15% කට වඩා අඩුවෙන් බදු ආදායම මගින් රැස් කරන රටවල්, රජයේ සේවා සැපයීමෙන් පමණක් නොව ආර්ථික වර්ධනය අතින්ද වඩා අවාසිසහගත තත්වයක රැඳී සිටින බව ය. බදු පදනම පුළුල් කරමින් බදු ආදායම් රැස් කිරීම ඉහළ නැංවීම ඉතා වැදගත් ය. කෙසේ වෙතත්, බදු ආදායම ඉහළ නංවන්නේ කෙසේ ද යන්න පමණක් නොව එය කොතැනක කෙසේ වැය වන්නේ ද යන්නත් ප්‍රතිසංස්කරණ‍යන්හි සාර්ථකත්වය තීරණය කිරීමට ඉවහල් වනු ඇත.

බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දිළිඳුකම තුරන් කරනු පිණිස පිළිතුරු සෙවිය යුත්තේ දරිද්‍ර‍තාවයෙන් පහළම සහ වඩාත්ම පීඩාවට පත් පිරිසට සහන සැළසීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන වැඩසටහන් තුළින් හෝ පහළ ආදායම් ලබන්නන් සඳහා රැකියා නිර්මාණය වීම ඉලක්ක කරගත් ආයෝජනවලට ප්‍රමුඛතාවය ලබා දීමෙන් බව වැලිසර් මහතා පැහැදිලි කරයි. නිදහස් වෙළඳ ගිවිසුම් හෝ බදු ප්‍රතිසංස්කරණ ‍වුව, විවිධ ප්‍රතිපත්තීන්හි ප්‍රගතිය අධීක්ෂණය සහ නිරීක්ෂණය ‍කරනු පිණිස සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කිරීම රජයට එහි කාර්යසාධනය වටහා ගැනීමටත් වැඩි දියුණු කිරීමටත් යොදා ගත හැක.

ශ්‍ර‍ී ලාංකිකයින්ට අවශ්‍ය වගවීම සහ විනිවිදභාවය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මගින් රැගෙන එනු ඇත.

මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වඩාත් විවෘත සහ පාරදෘශ්‍ය රජයක් සඳහා පුරවැසියන්ගේ ඉල්ලීම් සපුරාලීමට ඉවහල් වන අතර පාර්ලිමේන්තුව ද පනත සාධනීයව පිළිගෙන ඇත. දැන් පුරවැසියන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට තොරතුරු නිලධාරීන් සඳහා පුහුණු කිරීම් සිදුවන අතර, අනෙක් අතට, ඔවුන්, කුමන තොරතුරු කෙසේ ප්‍රසිද්ධියට පත් කොට හෙළිදරව් කළ යුතු දැයි රජයට උපදෙස් සපයනු ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය සාර්ථකව භාවිතයේ යෙදවීම මගින් ප්‍ර‍තිසංස්කරණ සඳහා වඩාත් හිතකර පරිසරයක් බිහි කරගත හැක. "පුරවැසියන්ගේ දායකත්වය ප්‍ර‍තිසංස්කරණ සඳහා ඉල්ලා සිටින අතරම, පුරවැසියාගේ ඉල්ලීම් අනුව යමින් රජය විවෘතව තොරතුරු බෙදාගන්නා බව හැඟීයාම ඔවුන්ගේ දායකත්වය ඉහළයාමට හේතු වනු ඇතැයි“ වැලිසර් මහතා පවසයි. "විවෘතභාවය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන්ටත්, රජයටත්, එම රජය ක්‍රියාත්මක වන පරිසරයටත් ඉතා වැදගත්ය.“


Api
Api

Interview with Sri Lankan network TV 1