විශේෂාංග කථාව

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා සම්පත් සුරැකීමේ ප්‍ර‍මුඛ සාධකය ප්‍ර‍ජා සහභාගීත්වයයි

2017, ජූනි 19


Image
Photo Credit: Darshani de Silva

කථා සාරය
  • ශ්‍රී ලංකාවේ අධිකාරී ආයතන ජෛවවිවිධත්වය සුරැකීමටත්, සංරක්ෂණය ඉහළ නැංවීමටත්, පාරිසරික සංවේදී කලාපවල ප්‍ර‍ජාවන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමටත් අරගලයක නිරත වෙති.
  • වැඩි දියුණු කළ භූ කළමණාකරණයක් අත්‍යාවශ්‍ය වන්නේ එය විවිධ පාර්ශවකරුවන් අතර ස්වභාවික සම්පත් කළමණාකරණය ඉහළින් සම්බන්ධීකරණය කොට දෙන බැවිණි.
  • ජෛවවිවිධත්වයට හිතැති සහ දේශගුණක තත්ව හා පෑහෙන ජීවනෝපාය ගොඩනැගීමට ප්‍ර‍ජා ක්‍රියාකාරී සැලසුම්වලට හැකි ය.

තම වනාන්තරයේ ආක්‍ර‍මණකරුවන් ඇති බව මොහාන් හීනටිගල දනියි. වනාන්තරයේ සිය සුපුරුදු විමර්ෂණයට යන අතරතුර, මෙම ගාලු ප්‍රාදේශීය වන නිලධාරීතුමා (DFO) මල් පුබුදුවන Lantana camara ශාක සතුන්ගේ ආහාරය වන තෘණ ශාක පරාජය කරමින් නැගී ඇති අයුරුත්; තවත් අනාරාධිත ශාක ප්‍රභේදයක් වන, උසැති හවරි නුග (Alstonia macrophylla) වෘක්ෂ සිය මග අඳුරු කරමින් නැගී ඇති අයුරුත් දකියි. 

“මේ ආක්‍ර‍මණශීලී ශාක වර්ග වනන්තරේ ස්වභාවය වෙනස් කරනවා විතරක් නෙවෙයි ජෛවවිවිධත්වයටත් අභියෝග කරනවා” ප්‍රාදේශීය වන නිලධාරීතුමන් එසේ කියන්නේ සෙසු ගැටළු සමග ආවේණික ශාක විනාශ කරමින් සහ පසෙහි තත්වය බිඳ දමමින් නැගෙන ශාක වර්ග දක්වමිනි.

නිරිතදිග ශ්‍රී ලංකාවේ මුණගැසෙන කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය වන සංකීර්ණයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කටයුතු හීනටිගල මහතා විමසා බලයි. අක්කර 10, 867 පමණ බිමක පැතිරුණු මෙම වනය දිවයිනෙහි ආවේණික සතුන් හා ශාකයන් සඳහා තෝතැන්නකි. සත්ත්ව විශේෂ 220ක පමණ මෙහි මුණගැසෙන අතර ඉන් විශේෂ 41ක් මෙරටට ආවේණික ය. දුර්ලභ පැලෑටි, වෘක්ෂලතාදිය මෙහි හමුවන අතර, 301ක් පමණ වන ශාක විශේෂ අතුරින් 52%ක්ම මෙරටට ආවේණික ය. වනාන්තරයෙන් පැන නගින ප්‍ර‍ධාන ජල ප්‍ර‍වාහ තුනක් දිය ඇලි ද නිර්මාණය කරමින් පහළට ඇදෙයි.

මෙම පාරාදීසයේදී, විනාශකාරී ශාකවලට එරෙහි පෙරමුණහිදී පමණක් නොව, සටන් පෙරමුණු කිහිපයකදීම හීනටිගල මහතා මුණගැසිය හැක. මෙම වසරේ පෙබරවාරියේදී ලැව්ගින්නක් හේතුවෙන් වනයෙන් අක්කර දහයක් පමණ විනාශ විය. වනාරක්ෂයන් ගම්වාසීන් ද සමග එක්ව ගන්න මැඩ පැවැත්වීමට සටන් කොට ඇත.  “අපි ප්‍ර‍ජාවන් එක්ක වැඩ කරනවා” යැයි හීනටිගල මහතා පවසන්නේ නව ව්‍යාපෘතිය යටතේ වනාන්තරයේ මායිම් ලකුණු කිරීම, නීතිවිරෝධී මැදිහත්වීම් සහ කටයුතුවලට එරෙහිව සටන් වැදීම, පරිසර සංචාරක කටයුතු වැඩි දියුණු කිරීම සහ වන හායනය වුණු ප්‍රදේශ යළි පිහිටුවීම යනාදිය සිදු කෙරෙන අයුරු පැහැදිලි කරමිනි. 

භූ සිතියම වටහා ගැනීම

මෙම කන්නෙලිය - දෙදියවෙල- නාකියාදෙනිය වන සංකීර්ණය අයත් වන්නේ පරිසර පද්ධති සංරක්ෂණ සහ කළමණාකරණ ව්‍යාපෘතිය (Ecosystem Conservation and Management Project) නැතිනම් ESCAMP යන කෙටි යෙදුමෙන් හඳුන්වන ව්‍යාපෘතියට ය. ලෝක බැංකු සහයෝගීතාවය යටතේ, ESCAMP ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පොහොසත් ස්වභාවික පාරිසරික සංවේදී කලාප කෙසේ ආරක්ෂා කරගත යුතුදැයි යන්න විමසා බලමින්, ඒ හා සමගාමීව වන සංකීර්ණය ආසන්න පෙදෙස්හි ජීවන තත්වයන් හා ජීවනෝපායන් ඉහළ නංවන්නේ කෙසේද යන්න විමසා බලනු ඇත.   

දිවයනෙහි සමස්ථ භූමි ප්‍ර‍මාණයෙන් 30%ක් පමණ ස්වභාවික වනාන්තර වන අතර කිලෝ මීටර 1,620ක් පමණ වන වෙරළ තීරය පුරා විහිදුණු පොහොසත් ජලජ සහ කලපු ආශ්‍රිත පරිසර පද්ධති ද මෙහි හඳුනාගත හැක. කෙසේ නමුත්, වනාන්තර එළි කිරීම, වනහරණය හා ජෛව විවිධත්වය නැසී යාම දිගින් දිගටම සිදුවන අතර, 1992 සිට 2010 අතර සමයේ වාර්ෂික වනහරණය වසරකට හෙක්ටයාර 7,147 පමණ විය. වියළි කලාපීය වනාන්තරවලින් 30%ක් පමණ වනහරණයට ලක් වූ අතර කුඩා කොටස්වලට කැඩුණු වන පැලැස්තර තෙත් කලාපය තුළ පැතිර පවතියි.

එවැනි වනහරණයන්හි ප්‍ර‍තිඵලයක් ලෙස තම වනය අහිමි වුණු වන අලි මිනිසුන් සමග ගැටුම් ඇති කරගත් හ. ආසියාවේ ඉහළම අලි ඝණත්වයට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ සෑම වසරකම අලි - මිනිස් ගැටුම් හේතුවෙන් මිනිසුන් 70ක සහ වන අලි 200ක පමණ ප්‍ර‍මාණයක් මිය යන අතර, වගාවන් සහ දේපළ හානි දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් පමණ වෙයි. පශ්චාත් යුධ සංවර්ධන ක්‍රියාකාරකම් ඉහළ දැමීම හේතුවෙන් ද වන බිම්වලට වන හානිය ඉහළ නැග ඇත. 

ශ්‍රී ලංකාව සිය පරිසරය සුරැකීම සඳහා පෙරදැක්මකින් යුක්ත පාරිසරික ප්‍ර‍තිපත්තීන් සහ ඒ සඳහා වන නීතිමය රාමු ගෙනවිත් ඇත. මෙය ක්‍රියාවට නංවනු වස්, ESCAMP ව්‍යාපෘතිය, වනජීවී දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි ආයතනික ධාරිතාව හා ආයෝජන හැකියාවට රුකුල් දෙමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කරනු ඇත.

"වැඩි දියුණු කළ භූ කළමනාකරණය අපගේ සංරක්ෂණ කටයුතු සඳහා ප්‍රධාන වන්නේ යැයි" වන සංරක්ෂණ ජෙනරාල්, අනුර සතුරුසිංහ මහතා පවසයි. " සාර්ථකත්වය ළඟා කරගනු වස්, විවිධ පාර්ශ්වකරුවන් අතර ස්වභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමට අපට අවශ්‍යයි."

ප්‍රජා සහභාගීත්වය ප්‍රධාන ය

හීනටිගල මහතා සහ ඔහුගේ කණ්ඩායම කන්නෙලිය වනාන්තරයේ සීමාව සළකුණු තැබීමේ කටයුතු සිදු කර ඇත. වනාන්තරය හමුවේ ඇති ඇතැම් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවට ගම්මානවල පූජ්‍ය පක්ෂය සහ ප්‍රජා නායකයින් සමග ඔවුන් එක් වී ඇත. එක්ව කටයුතු කිරීම හේතුවෙන්, ජෛව විවිධත්ව හිතකාමී බව වර්ධනය කිරීමටත් දේශගුණ-හිතැති ජීවනෝපායන් වර්ධනය උත්තේජනය කිරීමටත් සුදුසු ප්‍රජා ක්‍රියාකාරී සැලසුම් වර්ධනය වෙමින් තිබේ.

ප්‍රමුඛ පියවර වන්නේ, මෙරට වැසියන් හා සංචාරකයින් යන කණ්ඩායම් ද්විත්වයම අතර, මෙරට ජෛව විවිධත්වය කෙතරම් අසාමාන්‍ය තරම් ඉහළ අගයක් ගන්නේදැයි දැනුවත්භාවය වැඩි කිරීමට කටයුතු කිරීමයි. සැබැවින්ම ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය, ආසියානු කලාපය තුළ ඒකක ප්‍රදේශයක් තුළ ඉහළම ශාක හා සත්ත්ව විශේෂ ඝණත්වයක් දැකිය හැකි, ලොව වෙනත් ස්ථානයක මුණ නොගැසෙන තරමේ ඉහළ අගයක පවතී.

තවමත් ඉතිරිව ඇති සහ අහිමි වී ගොස් ඇති බව හඳුනාගනිමින් නැවත ගොඩනැගිය හැකි ඇතැම් ස්ථාන යළි පිහිටුවා සුරක්ෂිත කිරීම සඳහා, ශ්‍රී ලංකාව නව ප්‍රවේශයන් විමසිය යුතුව ඇත. ESCAMP ව්‍යෘපෘතිය ද රටේ ජාතික වනෝද්‍යාන කෙරෙහි අවධානය යොමු කරමින්, නරඹන්නන් වෙත ලබාදෙන සේවාවන්ගේ ගුණාත්මක බව ඉහළ නැංවීම හා වන හා වනජීවී සම්පත්වලින් ලැබිය හැකි ආදායම් වැඩි කිරීම ගැන විමසා බලයි. සමීක්ෂණ මගින් හෙළිදරව් වී ඇත්තේ වනෝද්‍යානවල ඇති දුර්වල කළමණාකරණයන් හේතුවෙන් වනෝද්‍යාන නරඹන්නට පැමිණෙන්නේ විදේශීය සංචාරකයින්ගෙන් 30%කටත් අඩු කොටසක් බව ය.

"තිරසාර බව ළඟා කරගනු පිණිස වන අපගේ පරිශ්‍රමය වෙනුවෙන්, ප්‍රජාවන් ආයෝජනය කළ යුතුවන්නේ සහ සම්බන්ධ විය යුතු වන්නේ එම ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් පිරිසක් ලෙස පමණක් නොව, වනජීවී හා වන සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය සඳහා වන සියලු වැඩ සටහන් වඩාත් පැහැදිලිව ඒකාබද්ධ කරනු පිණිස දායකවන්නන් පරිද්දෙනි" යනුවෙන් ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ පරිසර විශේෂඥ හා ව්‍යාපෘති කාර්ය සාධක කණ්ඩායම් නායිකා දර්ශනී ද සිල්වා පවසයි. "වන සම්පතෙහි භාරකරුවන් කොටසක් වශයෙන් සවිබලගන්වමින් ස්වභාවික සම්පත් ඵල නෙලා ගැනීමට ඔවුන්ට ඉඩ දීම මගින් වඩා තරගකාරී හා අනුකූල ජීවනෝපාය මාර්ග නිර්මාණය කිරීමට අප කටයුතු කළ යුතු ය."

සිය පාර්ශවයේ කටයුතුවලට අනුව, අවට ගම්වල ජනතාව වැඩසටහන සඳහා ධනාත්මකව ප්‍රතිචාර දක්වන බව වාර්තා කිරීමට ලැබීම සතුටුට කරුණකැයි හීනටිගල මහතා පවසයි. ඔවුහු සංචාරකයින් සඳහා මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කරමින් ද, නීති විරෝධී කටයුතු පිළිබඳ වන නිලධාරීන්ට වාර්තා කරමින් ද, ප්‍රති වන වගා ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ගේ දැනුම හා පාරම්පරික ශිල්ප ක්‍රම දායක කරමින්ද කටයුතු කරති. වේ. එක්ව කටයුතු කිරීම මගින් වනාන්තර ආරක්ෂා කළ හැකි බව හීනටිගල මහතා විශ්වාස කරයි.


Api
Api