විශේෂාංග කථාව

තිරසාර සංවර්ධනය තහවුරු කෙරුමට පරිසරය සුරකිමු

2017, ජූනි 5


Image
Photo Credit: Mokshana Wijeyeratne

කථා සාරය
  • ශ්‍රී ලංකාවේ හමුවන අනේකවිධ ස්වභාවික සම්පත් හා පොහොසත් ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීම තිරසාර සංවර්ධනය සහ ශක්තිමත් ආර්ථිකයක් තහවුරු කිරීමට ඉතා වැදගත් වේ.
  • සංවර්ධන ව්‍යාපෘතීන්හි සහ යටිතල පහසුකම් සැපයීමෙහි මුල් අවධියේදීම පාරිසරික ඇගයීම් සහ අනුකූල සැලසුම් සිදු කිරීම ආපදාවන් හේතුවෙන් සිදුවන සමාජ හා ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ප්‍ර‍මුඛ පියවරකි.
  • කලාපයේ රටවල් අතුරින් ඉහළම ප්‍ර‍තිපත්ති සහ සැලසුම් රාමුව හමුවන්නේ ශ්‍රී ලංකාවේ ය. අභියෝගය එය ක්‍රියාත්මක කිරීමයි.

මැයි මස අවසන් දවසේ ගංවතුර පහව යන ආකාරය දෙස මාලක රුද්‍රිගු බලා සිටියේ සැහැල්ලු සිතකිනි. “මේ පැත්තට සාමාන්‍යයෙන් ගංවතුර එන්නෙ නැහැ“ ඔහු කීවේ වේදනාවෙනි. සාමාන්‍යයෙන් ආසන්නයෙන් ගලා බසින නිල්වලා ගඟේ බාධක වැටි පැවතියේ ජල මට්ටම මැනගැනීමට ය. නමුත් දිවයිනට අධික වැසි ඇදැ වැටීම හේතුවෙන් එම බාධක වැටිවලට ද හානි සිදු විය.

‍එම ප්‍රදේශයේම හැදී වැඩුණු රුද්‍රිගුට ඇළ මාර්ග ජාලයක් විසින් වට කරනු ලැබූ ඔහුගේ ළමා කාලයේ නිවස  හොඳින් මතකයේ ඇත. නමුත් අද වන විට ප්‍රදේශයේ ඉදිවී ඇති නව නිවාස හා ව්‍යාපාරික ස්ථාන මෙම බොහෝ ඇළ මාර්ග පුරවා වසා දමා ඇත.

ශ්‍රී ලංකාවේ පශ්චාත්-යුධ සංවර්ධනය සමග, දිවයිනේ ස්වාභාවික සම්පත් හා ජෛව විවිධත්වයෙන් පිරිපුන් පරිසරය සුරක්ෂිත කරගනිමින් ජනතාවගේ යහපත සහතික කිරීම හා ශක්තිමත් ලෙස වර්ධනය වන ආර්ථිකයක් ගොඩනැගීම යන කරුණු වෙත අවධානය ඉහළ නැඟී ඇත.

ලෝක පරිසර දිනය සමරන විටත් අභියෝගය අප අභියස දෘශ්‍යමාන ය. පරිසරයට හානිකිරීමකින් තොරව පුරවැසියන්ගේ දරිද්‍ර‍තාව පරදවා ශක්තිමත් ආර්ථිකයක් වෙත මංපෙත් හෙළි කරගන්නේ කෙසේ ද යන්න එම අභියෝගයයි.

පාරිසරික ඇසින් පොහොසත් ප්‍ර‍තිපත්ති ක්‍රියාවට නැංවීම

ශ්‍රී ලංකාවේ දරිද්‍ර‍තාව බොහෝ අවස්ථාවලදී දිගුකාලීන පාරිසරික ගැටළු සමග බද්ධව පවතිනු පෙනේ. උදාහරණයක් ලෙස, සිය වාසභූමි තනාගන්නට වෙහෙසෙන මිනිසුන් ඒ සඳහා වනාන්තර අත්පත් කරගනු දැකිය හැක. වන සංරක්ෂණ දෙපාර්මේන්තුවේ ඇස්තමේන්තු ගතකිරීම්වලට අනුව, 19 වන සියවසේ සමස්ථ භූමියෙන් 70%ක් පුරා පැතිර පැවති වනගහණය, අද වන විට 29.7%ක් දක්වා පහත වැටී ඇත.

වන විනාශය හා අවිධිමත් සංවර්ධනය ගංවතුර තවත් තීව්‍ර කළ හැකි අතර, ඒ සඳහා බලපෑ හැකි තවත් සාධක ද ඇත. සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැග ඇති ජනගහනය, ඉඩම් කෘෂිකාර්මික භාවිතය සඳහා පරිවර්තනය කිරීම මෙන්ම නාගරීකරණය ඉන් ප්‍ර‍ධාන ය.

එබැවින්, ස්වභාවික විපත්වල බලපෑම පහත දමමින් නව සංවර්ධන ව්‍යාපෘතිවලින් ඉහළම ප්‍ර‍තිඵල ලබා ගැනීමට නම්, භූ කළමණාකරණය පිළිබඳ සාකල්‍ය අවබෝධයක් පවත්වාගනිමින් සමගාමී ව සංවර්ධන ක්‍රියාවලිය වෙත පාරිසරික සැලසුම්කරණය ප්‍ර‍මුඛ ලෙස කැඳවාගත යුතු ය. මෙමගින් අර්බුද ඇතිවීමට පෙර පිළිතුර සපයා දිය හැක. මේ හා සමඟ, ඉහළ ප්‍රතිපත්ති රාමුව‍ක් ක්‍රියාවට නැංවීම, විවිධ පාර්ශවකරුවන් අතර ඵලදායී සන්නිවේදන ජාලයක් ගොඩනැගීම සහ දැඩි පාරිසරික නීති ක්‍රියාත්මක කිරීම සමානව වැදගත් වේ‍.

පෙරමග දකිමින් ගොඩ නැගූ පාරිසරික ප්‍ර‍තිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව අද කලාපය තුළ ඇගයුමට පාත්‍ර‍ ව ඇත. එම ප්‍ර‍තිපත්ති සමග රට මුහුණ දී සිටින්නේ, එ් නියාමනය කොට ක්‍රියාත්මක කරමින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම සඳහා නීති සම්පාදනය කොට ආයතනික සැකැස්ම ඇති කිරීමේ අවස්ථාවට ය. සැමවිටම සැබෑ අභියෝගය හමුවන්නේ ක්‍රියාවට නැංවීම තුළ ය.

ශ්‍රී ලංකාවේ නගර දැන් නිවැරදි දිශාව වෙත පියවර තබමින් සිටී. ඒ එවැනි දරුණු කාලගුණ සිද්ධීන් හමුවේ ඇතිවිය හැකි අභියෝගවලට අනුහුරු වීමේ ක්‍රියාවලියකට ප්‍ර‍විශ්ඨ වෙමිනි. නිදසුනක් ලෙස, කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය (MCUDP) යටතේ, මිලියන 1.6 ක් පමණ ජනතාව ගංවතුර අවමකිරීමේ පියවරින් ප්‍ර‍තිලාභ ලබනු ඇත. එම ඉලක්කගත ආර්ථික සහ භෞතික ප්‍ර‍ති-ජනන වැඩසටහන, හදිසි ආපදාවකදී ජනතාව හා ව්‍යාපාර ආරක්ෂා කිරීමට උපකාරී වන අතරම ස්වාභාවික විපතකදී විපතට පත් වූවන් සඳහා සහන සැලසීමේ වියදම් අවමකිරීමට උපකාරී වනු ඇත.

ස්වේච්ඡා සහභාගීත්වය

දිවයිනෙහි ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ප්‍ර‍ජා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරයෙහි (IMCD) ස්වේච්ඡා නිලධාරීහු කටයුතු කළ හ.

28 වියැති නිමන්ති ආරියසිංහ විපතට පත් වූවන් සඳහා ආහාර එක් රැස් කිරීම සහ සහායවීම සඳහා දින ගණනාවක් වැය කළා ය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සමීපව කටයුතු කරන හෙයින් ස්වේච්ඡා නිලධාරීන්ට පීඩාවට පත් ප්‍රදේශ‍වල බොහෝ කලාප ආවරණය කළ හැක. බොහෝ ආපදා අවස්ථාවල දී විපත පත් වූවන් සමග සමීපව කටයුතු කර ඇති ආරියසිංහ, ආපදාවකට පෙර ආපදා අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් බව අවධාරණය කරයි.

"ස්වාභාවික විපතක් ඇතිවීමට පෙරදීම තීරණ රාශියක් ගත යුතු“ යැයි ලෝක බැංකුවේ පරිසර විශේෂඥ දර්ශනී ද සිල්වා පවසයි. ගංගා ආසන්නයේ වන තහනම් ප්‍රදේශවල වෙසෙන ජනතාව යළි පදිංචි කරවීම හෝ මෝසම් වැසි පැමිණීමට මත්තෙන් අවදානම් කලාපවල සිදුවන සංවර්ධන වැඩකටයුතු ඉවත් කිරීම ආදිය මින් අදහස් වේ.

නමුත් එම උත්සාහයන් සාර්ථක වීමට නම් ජනතාව රජය සමග සමීපව කටයුතු කළ යුතු ය. " අප ගංවතුර අපේක්ෂා කළ යුත්තේ කුමන කාලයක ද, ස්වභාවික විපතකට මුහුණ දෙන්නේ කෙසේ ද සහ කුමන ස්ථාන ආරක්ෂිත ද යන්න ගැන අප ජනතාව දැනුවත් කරනු ලබන්නේ නම් වෙනසක් අපේක්ෂා කළ හැකි යැයි," ආරියසිංහ පවසයි. "අපි ස්වභාවික විපත් ගැන පාසැලේදීම දරුවන් සමග කතා කිරීම ආරම්භ කළ යුතු ය." ඇය අවධාරණය කරයි.

“ස්වකීය ආරක්ෂාව පිළිබඳ ජනතාව ශක්තිමත් කරන වැඩසටහන් පැවතිය යුතු යැයි,” රුද්‍රිගු එකගතාව පළ කරයි. “අප ජනතාව දැනුවත් කිරීමට වෙහෙස දරන්නේ නම් ජීවිත හානි අවම කරගත හැකි වනු ඇත.”

IMCDහි ස්වේච්ඡා නිලධාරීන්ගේ අසීරු කර්තව්‍යයන් ගංවතුර පහව ගිය පසු ද කෙළවර වන්නේ නැත. මහජනතාවට යළි සිය දෙපයින් නැගී සිටීමටත්, කැඩී බිදී ගිය නිවාස සහ ව්‍යාපාරික ස්ථාන යළි ගොඩනැගීමටත් කාලය හා ධනය අවශ්‍ය වේ.

යළි නගාසිටුවීමේ අභියෝගයන් ඉතා ප්‍ර‍බල බව ආරියසිංහ පෙන්වා දෙයි. එහෙත් විපතට පත්වූවන් වෙනුවෙන් සිය කාලය හා ධනය පරිත්‍යාග කිරීමට පෙළගැසෙන ශ්‍රී ලාංකිකයින් දකින විට තමන් සතුටටත් ආඩම්බරයටත් පත්වන බව ඇය කියයි. 

ගංවතුර මෑතදීම නැවත නැග ඒම වළක්වා ගත හැකි ද? සැළකිය යුතු සංවර්ධනය, හා හොඳින් ක්‍රියාත්මක ප්‍රතිපත්ති හා සන්නිවේදන උපායමාර්ග අහිමිවීමට එරෙහිව ප්‍රජාවන්‍ හමුවේ උදව් විය හැක. “කලාපයේ රටවල් අතුරින් ඉහළම ප්‍ර‍තිපත්ති සහ සැලසුම් රාමුව හමුවන්නේ ශ්‍රී ලංකාවේ ය. අභියෝගය එය ක්‍රියාත්මක කිරීමයි.“ ද සිල්වා පවසයි.


Api
Api