විශේෂාංග කථාව

සංවර්ධනයේ නව මාවත් විවර කිරීමට තොරතුරු දැනගැනීමේ වැදගත්කම

2017, මැයි 26


Image

කථා සාරය
  • පුරවැසියන්ගේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය වගකීම්සහගත සහ ක්‍රියාකාරී ලෙස කටයුතු කරන බව තහවුරු කරගැනීමට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිතා කළ හැකි ය.
  • තොරතුරු දැනැගනීමේ අයිතිය පිළිබඳ පනතෙහි සැබෑ ජයග්‍ර‍හණ ලබාගැනීමට නම් පුරවැසියා සිතන ආකාරය වෙනස් කළ යුතු ය. ඒ රටේ සංවර්ධනයට සෘජුව බලපාන්නා වූ තොරතුරු විමසා සිටිමින් හා බෙදාගනිමින් රාජ්‍ය ආයතන වගකීම්සහගත ස්ථාන බවට පත් කරවීමෙනි.
  • රාජ්‍ය ආයතනවල තොරතුරු නිවැරදිව සහ විනිවිදභාවයකින් යුතුව හෙළිදරව් කිරීම ඉක්මණ් ජයග්‍ර‍හණ සමග යහපත් ආර්ථික පසුබිමක් නිපදවනු ඇත. යුරෝපා සංගමය තුළ, රාජ්‍ය අංශයේ ආයතන යළි-භාවිත දත්ත හේතුවෙන් අයකිරීම් විශාල ලෙස පහත දැමීමත් සමග ඒ භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

මස්ලූම් නඩාෆ් යනු ඉන්දියාවේ බිහාරයේ වෙසෙන, තමන්ගේම නිවසක සිහින දකින, 70 හැවිරිදි රික්ෂෝකරුවෙකි. ඔහුගේ සිහිනය යථාවක් වීමට තිබුණු බාධාව නිවසක් තනන්නට තරම් මුදලක් ඔහුගේ රැකියාව ඔහු වෙත ඉතිරි නොකිරීමයි. කෙසේ වෙතත්, නිවසෙහි ඉදිකිරීම් ඇරඹීමට ජාතික නිවාස යෝජනාක්‍ර‍ම වැඩසටහන යටතේ ඉන්දියානු රුපියල් 70,000ක (ඇමරිකානු ඩොලර් 1,100ක් පමණ) මුදලක් සඳහා ඉල්ලුම් කළ හැකි බව දැනගන්නා නඩාෆ් ඒ සඳහා අයදුම් කර ඇත. වසර පහක් ගෙවී ගිය පසුව ද සිය පළමු වාරිකය වන ඉන්දියානු රුපියල් 15,000ක (ඇ.ඩො. 230ක් පමණ වන) මුදල ඔහු අතට පත් වන්නේ නැත. අයදුම්පත සළකා බලා අනුමත කිරීමට නිලධාරීන් වෙත අල්ලස් පිරිනැමිය යුතු වීම එයට හේතුවයි. අල්ලස් ලබා දීම වෙනුවට නඩාෆ් තෝරාගන්නේ වෙනස් මගකි. 

රාජ්‍ය නොවන සංවිධානයක උදව්වෙන් තොරතුරු දැනැගනීමේ අයිතිය පිළිබඳ අයදුම්පතක් ඉදිරිපත් කරන ඔහු  ජාතික නිවාස යෝජනාක්‍ර‍ම වැඩසටහනේ දෛනික ප්‍ර‍ගති වාර්තාවක් ඉල්ලා සිටියි. ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියා අතට නඩාෆ්ගේ අයදුම්පත ලැබීමත් සමග අසරණයෙකු ලෙස ඔහු හඳුනාගැනීමේ වරද අධිකාරියේ නිලධාරීහු වටහා ගනිති. එහි ප්‍ර‍තිඵලය, දින කිහිපයක් ඇතුළත, නිවස ඉදිකිරීමට අවශ්‍ය පළමු වාරිකයට අදාල චෙක්පත නඩාෆ් අතට පත් වීමයි.

නඩාෆ්ගේ කතාව, ඉන්දියානු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හඳුන්වා දුන් මුල්ම වකවානුවේ, එනම් 2005 දී පමණ, එය භාවිතයෙන් ජය හිමිවූ කතාන්දර අතුරින් එකකි.  පසු දශකය තුළ ඉන්දීය පුරවැසියන් සිය එදිනෙදා ජීවිතයට බාධා එල්ල වන රාජ්‍ය ක්‍රියාකාරකම් ප්‍ර‍ශ්න කර පිළිතුරු ලබාගනිමින්, පොරොන්දුවලට වගවීම සඳහා රජය යොමු කරවමින්, තම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී අයිතීන් වෙනුවෙන් සෘජුව මැදිහත්ව ඇත.  

පසුගිය පෙබරවාරි 03 වන දින ශ්‍රී ලංකාව ද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත බලාත්මක කළේ ය. සිවිල් සමාජ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ ජන මාධ්‍ය වසර ගණනක් මුළුල්ලේ සිදුකළ මැදිහත්වීම් සහ දැනුවත් කිරීම් හේතුවෙන් දැන් ශ්‍රී ලංකා ඇති පනත ලොව එවැනි පනත් අතුරින් ශක්තිමත්ම නීතිමය සැකැස්මකට හිමිකම් කියන්නා වූ පනතකි.  මේ නව පනත සාර්ථකව ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න අද ඒ වෙත ඇති අභියෝගයයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත බිහිවීම

පුළුල්ව ලද දේශපාලනික සහාය මෙරට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත බිහිවීමට මග හෙළිකොට ඇත. “තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ශ්‍රී ලංකාව තුළ වඩා විනිවිදභාවයකින් යුක්ත සහ වගකීම්සහගත රජයක් ඇති කිරීම වෙනුවෙන් ගන්නා ලද වැදගත් පියවරකි. වඩා කාර්යක්ෂම ලෙසත්  අපක්ෂපාතී ලෙසත් තොරතුරු ලැබීම තහවුරු කිරීමට අපි දැන් කටයුතු කරන්නෙමු“ යි පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ සහ හිටපු ජනමාධ්‍ය ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ, “ කෙසේ නමුත්, තොරතුරු දැනැගනීමේ අයිතිය පිළිබඳ පනතෙහි සැබෑ ජය ලබාගැනීමට නම් මහජන ආකල්ප වෙනස් කළ යුතු ය. ඒ රටේ සංවර්ධනයට සෘජුව බලපාන්නා වූ තොරතුරු  විමසා සිටිමින් හා බෙදාගනිමින් රාජ්‍ය ආයතන වගකීම්සහගත ස්ථාන බවට පත් කරවීමෙනි.“ යනුවෙනි.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ රාජ්‍ය ආයතනයක් වෙත තොරතුරු විමසමින් ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ හැක. එමගින්, යම් ව්‍යාපෘතියකට වැය වූ මුදල හෝ එ් සඳහා ක්‍රියාවට නැගුණු ටෙන්ඩර් පටිපාටිය වැනි අභ්‍යන්තර තොරතුරු අනාවරණය විය හැක. ඊට අමතරව, එය අමාත්‍යාංශයන් සිය කාර්ය පටිපාටි තුළ එක්රැස් කරගත් දත්ත ලබාගැනීමට ද කටයුතු කළ හැක.

 ශ්‍රී ලංකාවේ මෙම පනත මේ වනවිටත් ක්‍රියාකාරීව භාවිතයට ගැනීම ඇරඹී අවසන් ය. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කර ඇත්තේ කෙසේදැයි විමසීමේ සිට ගම්පහ වැනි දිස්ත්‍රික්කවල පස්කැපීම සහ වැලි ගොඩ දැමීම සඳහා බලපත්‍ර‍ ලබාදුන් ආකාරය කෙසේදැයි යන්න විමසීම දක්වා පුළුල් ප්‍ර‍ශ්නමාලාවක් දැනටමත් ඉදිරිපත් වී ඇත.

කෙසේ වුවත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ රජයේ තොරතුරු ලබාදීම කරුණු කිහිපයකට යටත්ව සිදුවනු ඇත. ජාතික ආරක්ෂාවට බලපෑමක් සිදුවන අවස්ථා වැනි ඇතැම් ස්ථානවලදී එය තොරතුරු හෙළි නොකරනු ඇත. කෙසේ වෙතත්, ගැටළුකාරී ස්ථානයකදී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ මැදිහත් වීම ඉල්ලා සිටීමට ජනතාවට හැකි ය.

උපාය මාර්ගික ක්‍රියාත්මක කිරීම පිළිබඳ සැලැස්ම

ඉදිරි වසර කිහිපය තුළ, ශ්‍රී ලංකාව සිය වාර්තා කළමණාකරණ යාන්ත්‍ර‍ණය නිසි ලෙස සැකසීමේ දැවැන්ත අභියෝගයකට මුහුණ දෙනු ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වෙත අවධානය සහිතව, තොරතරු නිලධාරීන් බඳවා ගනිමින් පුහුණු කිරීමටත්, නීතිමය සැකසුම් යාවත්කාලීන කිරීමටත් සිදු වනු ඇත. එහි ප්‍ර‍ගතිය මැන බැලීමට ඵලදායී අධීක්ෂණය හා ඇගයුම් උපාය මාර්ග අවශ්‍ය වනු ඇත. සමාගම් හා රාජ්‍ය නොවන සංවිධානවලට ද සිය ආයතනික වගකීම් ඉටුකිරීමට යුහුසුළුව ක්‍රියාත්මක වීමට සිදුවනු ඇත.

සියළුම රාජ්‍ය ආයතන වෙත යොමුවන තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් විමසා බලන්නට තොරතුරු නිලධාරීන් පත් කෙරෙනු ඇත. යම් තැනැත්තෙකුට ඉල්ලීම් ඉදිරිපත් කර, අදාල ගෙවීම සිදු කොට, දින 14ක් ඇතුළත සිය පිළිතුර අපේක්ෂා කළ හැකි ය. අදාල ඉල්ලීම යම් පුද්ගලයෙකුගේ ජීවිතය හා පුද්ගලික නිදහස හා සම්බන්ධ වන විට තොරතුරු නිලධාරීන් අනිවාර්යයෙන්ම පැය 48ක් ඇතුළත එයට ප්‍ර‍තිචාර දැක්විය යුතු ය. තොරතුරු නිලධාරියෙකු තොරතුරු ලබාදීම ප්‍ර‍තික්ෂේප කරන්නේ නම් ඒ සඳහා ඔවුන් වලංගු හේතුවක් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැති විට නීතිමය දඬුවම් ඔවුන් වෙත පැනවිය හැකි වනු ඇත.  ඉදිරි වසර කිහිපය තුළ දී මෙම ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම හා භාවිතයට පහසු වන පරිදි තව දුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගනු ඇත.

පසුගිය මැයි 05 වැනි දින තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ලෝක බැංකුවේද සහාය ඇතිව එහි උපායමාර්ගික ක්‍රියාත්මක කිරීම පිළිබඳ සැලැස්ම එළි දැක්වී ය. මෙම “සජීවී සැලැස්ම” ඉදිරි වසර තුන ඇතුළත කාර්ෂක්ෂම ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම සඳහා ආකෘතියක් සපයා දෙනු ඇති අතර නිරන්තර ඇගයීම්වලට ද ලක්වනු ඇත.  “රජය මෙම ක්‍රියාවලිය සම්බන්ධව දැනුවත් කිරීම කඩතුරා සියල්ල ඉවත්කළ යුතු අතර ජනතාව මෙය තමන් සතු කාර්යයක් ලෙස භාර ගත යුතු යැයි,” තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල පවසයි. “රජය පමණක් නොව, රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යාපාර ක්ෂේත්‍ර‍ය හා පොදු මහජනතාව එහි සාර්ථකත්වය තහවුරු කරනු පිණිස කටයුතු කළ යුතු ය“ ඔහු වැඩිදුරටත් කරුණු දැක්වී ය. 


Image

Image

විනිවිදභාවය හා තරගකාරීත්වය තවදුරටත් නැංවීම

මෙම පනත පෞද්ගලික අංශයටද වාසි අත්කර දෙනු ඇත.

ශ්‍රී ලංකාව තුළ තොරතුරු ක්‍රියාකාරී ලෙස අනාවරණය වීම යනු දිවයිනෙහි ආර්ථිකය සම්බන්ධ සතුටුදායක පුවතකි. ලෝක බැංකුවේ කොළඹ කාර්යාලයේ රාජ්‍ය අංශයේ කළමණාකරණය පිළිබද ප්‍ර‍ධාන විශේෂඥ ෆේබියන් සෙයිඩරර් පවසන්නේ “රජය දිනපතා නිෂ්පාදනය කරන දත්ත යනු අස්පෘෂ්‍ය (intangible) වත්කම් එකතුවකි. ඒ පෞද්ගලික අංශයට භාවිතා කිරීමට හා යළි භාවිතයට ඉඩ දීම යනු සමාගම්වල වියදම් පහත හෙළා, එ්වායේ තරගකාරීත්වය හා නවෝත්පාදනය ඉහළ නංවා සුවිශේෂ ආර්ථික ප්‍ර‍තිලාභ ලඟා කරගැනීමකි.“ යනුවෙනි. 

උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන හා පෞද්ගලික සමාගම්වලට නීති හා රෙගුලාසි සම්බන්ධ සමාන හා ඒකාබද්ධ දත්ත එකතුවක් මගින් වාසි අත්කරගත හැකි ආකාරය ඔහු පෙන්වා දෙයි.  ඒ සඳහා රාජ්‍ය මූල්‍ය දත්ත, බදු පැනවීම්, අයවැය ප්‍ර‍තිපාදන සහ ටෙන්ඩර් පටිපාටි ද ව්‍යාපාරවලට භාවිතා කළ හැකි තත්වයට පත් කළ යුතු ය.  ප්‍ර‍වාහන දත්ත හෝ ගෘහස්ථ සංගණන තොරතුරු හමුවේ ද මෙය සත්‍යයකි. මුදල් සම්බන්ධ ඉහළ විනිවිදභාවය ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නංවන අතරම පුරවැසියාට වාසි ද අත්කර දෙයි.

උදාහරණයක් ලෙස, යුරෝපා සංගමයේදී, රාජ්‍ය අංශයේ තොරතුරු නියාමන ආයතනය (Public Sector Information Directive (PSI)) යුරෝපා සංගමය තුළ භාවිතා කෙරෙන තොරතුරු නැවත භාවිතයට උනන්දු කරමින් සමාගම්වලට උපකාර කරයි. එහිදී කාලගුණ හා සිතියම් දත්ත, GPS භාවිතය සඳහා තෙවන පාර්ශව ව්‍යවසායකයින් විසින් වාණිජ වශයෙන් ප්‍ර‍ති-නිෂ්පාදනය කෙරේ.

යළි-භාවිතය හේතුවෙන් අයකිරීම් විශාල ලෙස අඩු කිරීමට එම කලාපයේ රාජ්‍ය ආයතන කටයුතු කිරීමත් සමග භාවිතාකරන්නන් කැපී පෙනෙන ලෙස ඉහළ නගිනු දක්නට ලැබිණ.උදාහරණ ලෙස, ඩෙන්මාර්ක ව්‍යවසාය හා ඉදිකිරීම් අධිකාරියෙහි (DECA) දත්ත යළි-භාවිත කරන්නන් 10,000%කින් ඉහළ නැගීමත් සමග පසුගිය වසර අට තුළ යළි-භාවිත වෙළඳපොළ වර්ධනය 1,000%කින් ඉහළ නැංගේ ය. ගණන් බලා ඇති ආකාරයට ඒ හරහා ලැබුණු අමතර බදු ආදායම පහත දැමූ අයකිරීම් මෙන් සිවුගුණයකි.

අවසාන වශයෙන්, තොරතුරු යටිතල පහසුකම් හා ක්‍රියාකාරකම් යන දෙකටම අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා හැඩගැසීමට සිදු වනු ඇත. පුරවැසි සබඳතා නැංවීම සහ පෙත්සම් දිරිගැන්වීම හා මහජන උපදේශනය ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් සහ ප්‍ර‍තිචාර හදුනාගැනීමටත් උපකාරී වනු ඇත. ඉන් ඉදිරියෙහි, මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතටම තමන්ට ලැබෙන තොරතුරු මත පදනම්ව සිය දුක්ගැනවිලි අනුව පියවර ගැනීමට පුරවැසියන් සවිබල ගැන්වීමේ  යාන්ත්‍රණයක් නිපදවීමට අවශ්‍යතාව ඇති කර දෙනු ඇත.


Api
Api