Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය2023, ජූනි 28

ලෝක බැංකු සමුහයේ 2024-27 කාලසීමාවට අදාළව ශ්‍රී ලංකාව සඳහා වූ හවුල්කාරිත්ව කාර්යරාමුව දිළිඳු ජන කොටස් රැක ගැනීම හා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමුඛතා ලෙස සලකයි

2023 ජුනි 28, වොෂිංටන් - ලෝක බැංකු සමූහයේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන නව හවුල්කාරිත්ව කාර්යරාමුව (Country Partnership Framework – CPF) අද දින සාකච්ඡාවට බඳුන් කරන ලදී.  ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍ර නැවත ස්ථාවර කිරීම‍ සහ හරිත, අවදානම් වලට ඔරොත්තු දීමේ හැකියාවැති, සහ සියලු ජන කොටස් වලට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට සංවර්ධනයක් යළි ඇති කිරීම‍ උදෙසා සවිමත් පදනමක් ගොඩනැගීම එයින් ඉලක්ක කෙරෙයි.   

පවත්නා දැඩි ආර්ථික අර්බුදය සහ ඉන් ගොඩ ඒමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම  හවුල්කාරිත්ව කාර්යරාමුව දැඩි අවධානය යොමු කර ඇත.  2021 සහ 2022 අතර කාලයේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම සියයට 13.1 සිට සියයට 25 දක්වා ඉහළ ගොස් ඇතැයි ගණන් බලා ඇත.  ඒ අනුව, දිළිඳු ජනතාව අතරට තවත් මිලියන 2.5ක් එකතු වී ඇත.  2023 වන විට තවත් සියයට 2.4කින් එම සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට අනුමාන කෙරෙයි.

ශ්‍රී ලංකාව මෙතෙක් අත් විඳ නොමැති ආර්ථික අර්බුදයකට පත්වී ඇතත් , ක්‍රමවත් සහ ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් රට යථාවත් කිරීමට ඓතිහාසික අවස්ථාවක් ඇති බව  ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් එච්. හදාද්-සාර්වෝස් මහතා විශ්වාසය පළ කරයි. “මෙම ප්‍රතිසංස්කරණ සඳහා ‍ හවුල්කාරිත්ව කාර්යරාමුව සහය වනු ඇත.  එහිදී, ආර්ථික ස්ථායීතාව, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, සහ දිළිඳු හා අවදානමට ලක්වීමේ හැකියාවැති ජන කොටස් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අදියර කිහිපයකින් කටයුතු කිරීමේ ක්‍රමෝපායයක් අනුගමනය කිරීමට ලෝක බැංකු සමූහය අදහස් කරයි.  දිගින් දිගටම එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පවත්වා ගෙන යාම තුළින් හරිත, අවදානම් වලට ඔරොත්තු දීමේ හැකියාවැති, සහ සියලු ජන කොටස් වලට ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන මාවතක් කරා රට නැවත යොමු කළ හැකි වනු ඇත.  යැයි එම මහතා තවදුරටත් පවසා සිටියේය. 

හවුල්කාරිත්ව කාර්යරාමුව වර්ෂ 2024-2027 දක්වා වන කාලය සඳහා වන අතර  එය, අදියර දෙකක ප්‍රවේශයකින් සමන්විතය.  එහිදී, මුලින්ම අවධානය යොමු කෙරෙන්නේ, වහා සිදු කළ යුතුව පවතින සාර්ව ආර්ථික, රාජ්‍ය මූල්‍ය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වෙතයි.  ඒ හරහා දැනට පවත්නා මානව ප්‍රාග්ධනය සහ අවදානමට ලක්වන ජනතාවට සහය සැලසීමට අදහස් කෙරෙයි. පළමු මාස 18-24 කාල‍යෙන් අනතුරුව,  ප්‍රතිසංස්කරණ වැඩසටහන්, ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල සහය යන සාධකවල සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් , රටෙහි  දිගු-කාලීන සංවර්ධන අවශ්‍යතා උදෙසා කෙරෙන ආයෝජන වෙතට හවුල්කාරිත්ව කාර්යරාමුවෙහි අවධානය ක්‍රමයෙන් යොමු කෙරෙනු ඇත.  එහිදී, වැඩි වශයෙන් කාන්තාවන් සහ තරුණ පිරිස් ඉලක්ක කරමින් පුද්ගලික අංශයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සහ දේශගුණික විපර්යාස හා බාහිර ආර්ථිකයේ කම්පන වලට ඔරොත්තු දීමේ හැකියාව දැඩි කිරීමට එකී ආයෝජන වලින් සහය ලැබෙනු ඇත.    

“ශක්තිමත් පුද්ගලික අංශයක සහය, ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා, ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වන සාධකයකි. අර්බුදයේ බලපෑමට ලක් වූ ජනතාවට සිය ජීවිත යළි ගොඩනගා ගැනීම පිණිස රැකියා සහ ජීවනෝපාය නිර්මාණය කළ යුතුව ඇත” යනුවෙන් සිය අදහස් පළ කළේ දකුණු ආසියාවේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙහි  (International Finance Corporation - IFC), වැඩබලන කලාප අධ්‍යක්ෂවරයා වන ශලාබ් ටැන්ඩන් මහතා ය. “ආර්ථික පුනර්ජීවනය ඇති කිරීමෙහි ලා, පුද්ගලික අංශයේ නායකත්වයෙන් යුතු වර්ධනයක් දිරිගැන්වීම අතිශය වැදගත් වේ.  අපනයනයට නැඹුරු අංශ වෙත සහය දැක්වීම, දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිචාර දක්වන ආයෝජන දිරිගැන්වීම, සහ ඩිජිටල්කරණය සවිබල ගැන්වීම - වැනි අංශ හරහා තිරසාර සංවර්ධනයට දායක වීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව අපේක්ෂා කරයි.” යැයි එම මහතා තවදුරටත් පවසා සිටියේය.

මෙකී හවුල්කාරිත්ව කාර්යරාමුව සැකසීමේ දී රජය, පුද්ගලික අංශය, සිවිල් සමාජ සංවිධාන, බුද්ධිමතුන්, විද්වතුන්, ජනමාධ්‍ය, සහ සංවර්ධනයට දායකත්වය සපයන වෙනත් හවුල්කරුවන් ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග තොරතුරු විමසීමේ සාකච්ඡා දිවයින පුරා සහ මාර්ගගත ක්‍රමයට ද පුළුල් අන්දමින් පවත්වන ලදී.

එසේම, අද දිනයේදී, සාර්ව ආර්ථික ස්ථායිතාව සහ රටෙහි තිරසාර භාවය යළි ඇති කිරීම, දිළිඳු හා අවදානමට ලක්වීමේ හැකියාවැති ජන කොටස් මුහුණදෙන වත්මන් හා අනාගත කම්පන අවම කිරීම, සහ සියලු ජන කොටස් වලට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට හා පුද්ගලික අංශයේ මුලිකත්වය සහිතව තිරසර වර්ධනයේ මාවතක් කරා යොමු වීම ආදී මූලික ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාවට නැංවීමට සහය වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක වැඩසටහන් දෙකක් අනුමත කිරීමට ද ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියා කර ඇත.  

පළමු වැඩසටහන ආර්ථික ස්ථායි භාවය නැවත ඇති කිරීම සහ අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වලට සහය ලබාදෙනු ඇත (Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation).  මේ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් සමාන වාරික දෙකක් එකඟ වූ ප්‍රතිසංස්කරණ වල ප්‍රගතිය මත රාජ්‍ය අයවැයට මුදා හැරෙනු ඇත.

එසේම, දෙවන වැඩසටහන වන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් උදෙසා වෙන්කර ඇත.  සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් හි ඉලක්කගත භාවය, ඵලදායිතාව සහ අවදානම්වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

2023 ජුනි 26 වනවිට ලෝක බැංකුවේ සක්‍රීය වැඩසටහන් හා ව්‍යාපෘති වල මුළු වටිනාකමේ  ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර බැංකුවට (International Bank for Reconstruction and Development - IBRD ) අදාළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.09 ක් සහ  ජාත්‍යන්තර සංවර්ධන සංගමයට අදාළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.17 ක් සමන්විත වේ . IBRD හි මූල්‍ය පහසුකම් ගිලිහි යාමෙන් පසු, සහනදායි ණය ඉඩ වෙතින් ලබා ගැනීමට ශ්‍රී ලාංකීය රජය විසින් කරන ලද ඉල්ලීම පිළිගැනුණු අතර නැවත IBRD  මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සුදුසුකම් සපුරන තෙක් ශ්‍රී ලංකාවට IDA  වෙතින් පමණක් මූල්‍ය පහසුකම් ලැබෙනු ඇත.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ බහුපාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිතායතනය (Multileteral Investment Guarantee Agency - MIGA) සහ සංවර්ධන හවුල්කරුවන් සමග සමීප සම්බන්ධතාවකින් යුතුව ඉහත කටයුතු වල නිරතවීමට හවුල්කාරිත්ව කාර්යරාමුව මගින් මනා සහයක් සලසනු ඇත. 

සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලික අංශය වෙත අවධානය යොමු කර ඇති විශාලතම ගෝලීය සංවර්ධන ආයතනය වශයෙන්, IFC විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් පමණ ශ්‍රී ලංකාවේ ආයෝජනය කළේ COVID-19 වසංගතයේ උදාවත් සමග ය.  එමගින්, මෙරට ව්‍යාපාර සහ රැකියාවන් රැකගැනීමට සහය සැලසීය.  එසේම, IFC විසින් ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ සහ අපනයන කටයුතු වලින් සියයට 30ක ට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කරන, ප්‍රමුඛ පෙළේ ජාතික බැංකු තුනක් වෙත විනිමය හුවමාරු පහසුකම්  (cross-currency swap facility) ද සැලසීය.  ආර්ථිකය ස්ථාවර කරගැනීම රටේ දැඩි අවශ්‍යතාවක් බවට පත්ව ඇති ‍අවස්ථා‍වේ ඊට දායකත්වය ලබාදෙමින් පුද්ගලික අංශයට අත්‍යවශ්‍ය මූල්‍ය සහය ලබාදීම ඉන් අපේක්ෂිතය.  පුද්ගලික අංශය පෙරමුණ ගත් සංවර්ධනයක් රට තුළ ඇති කිරීමට IFC අඛණ්ඩව සහය දෙනු ඇත.  ඒ හරහා, නව්‍යකරණය, විවිධාකාර නිෂ්පාදන, වර්ධනය-සවිබල කරන තිරසාර යටිතල පහසුකම් මෙන්ම මූල්‍යමය ඇතුළත් භාවය ද දිරිමත් කෙරෙනු ඇත.          

අන්තර්ජාතික වශයෙන් සිදුකළ  හැකි ආයෝජන සහ ණය දීම් පිළිබඳ විමසා බැලීම  MIGA අඛණ්ඩව සිදු කරනු ඇත. මේ වනවිට MIGA සිදුකරන ව්‍යාපෘති කිසිවක් ශ්‍රී ලංකාවේ නොමැත.  එසේ නමුත්, සෘජු විදේශ ආයෝජන (Direct Foreign Investments – FDI) දිරිගැන්වීම පිණිස ලෝක බැංකුව සහ IFC සමග MIGA දිගින් දිගටම කටයුතු කරනු ඇත.  MIGA විසින් තම වෙළෙඳ මූල්‍යකරණ ඇපකර වැඩසටහන් (IFC සමග සහයෝගීතාව සහිතව) ක්‍රියාවට නැංවීමේ හැකියාවැති රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ද ඇතුළත්ය.  සිය සහය ලබාදෙන ව්‍යාපෘති වලට ස්ත්‍රී-පුරුෂ සමාජභාව ක්‍රමෝපායයන් ක්‍රියාවට නැංවීමේ සැලසුම අදාළ කරගැනීමේ හැකියාවන් ද MIGA විමසා බලනු ඇත.    

සම්බන්ධ වන්න

වොෂිංටන්
ඩයනා චුංග්
(202) 473-8357
කොළඹ
දිලිනකා පීරිස්-හොල්සිංගර්
+94115561325

Blogs

    loader image

WHAT'S NEW

    loader image