Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2017, සැප්තැම්බර් 29

ශ්‍රී ලංකාවට අඩු වියදමකින් වඩා හොද සහ ආරක්ෂිත මහා මාර්ග

කොළඹ, 2017 සැප්තැම්බර් 29 වැනිදා — ශ්‍රී ලංකාව, මාර්ග සංවර්ධන යටිතල ව්‍යුහය සම්බන්ධ සාම්ප්‍ර‍දායික ප්‍රවේශයෙන් බැහැර වී, සෙසු රටවල් හා එක් වෙමින්, ප්‍ර‍ගතිය මත පදනම්ව කොන්ත්‍රාත්කරුට ගෙවනු ලබන, නඩත්තු කටයුතු මූලික කොටගත්, කොන්ත්‍රාත්කරුගේ කාර්ය සාධනය පදනම් කරගත් නව ප්‍රවේශයකට පිවිසෙයි. මෙම ප්‍රවේශය වඩාත් හොඳ තත්ත්වයේ හා කාලෝචිත මැදිහත්වීම් සඳහා දිරිගැන්වීමක් වනු ඇති අතර එමගින් රජයට අඩු වියදමක් සහිත හා ඒ සමග මහජනතාවට වඩා හොඳින් නඩත්තු කෙරෙන මහා මාර්ග පද්ධතියක් හිමි වනු ඇත.

නව ප්‍රවාහන ‍සබඳතා හා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝක බැංකුව වෙතින් පිරිනැමෙන ඩොලර් මිලියන 125ක ණය ආධාරයක් සඳහා අද දින ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග අත්සන් තැබූ හ.

දිවයින පුරා විහිද පවතින මහා මාර්ග පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා වියදම් අවම කිරීම සැකයකින් තොරව මාර්ග සංවර්ධන අධිකාරියේ ආදර්ශ ව්‍යාපෘතියක් බවට පත්වනු ඇත. වඩා හොඳ සහ ආරක්ෂිත මහා මාර්ගවලින් සියලු ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ ලැබෙන‍ු ඇති අතර රටට සෞභාග්‍යය උදා කිරීමටත්, දරිද්‍රතාව අවම කිරීම‍ත් එය දායක වනු ඇත." යනුවෙන් මෙහිදී අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් පැවසී ය.

 

මගී ප්‍රවාහනයෙන් 95% ක් සහ භාණ්ඩ ප්‍රවාහනයෙන් 98% ක් හිමි කරගනිමින් ශක්තිමත් මහා මාර්ග ජාලය, ශ්‍රී ලංකාවට වඩාත් උචිත ප්‍ර‍වාහන ක්‍ර‍මය බවට පත් වනු ඇත. පූර්වයේ ලෝක බැංකු ආධාර ප්‍ර‍දානය කළ Road Sector Assistance Project ඔස්සේ ලද අත්දැකීම් මත පදනම්ව, යටිතල පහසුකම් සපයන්නකුගේ තත්වයේ සිට සේවා සැපයුම්කරුවෙකුගේ තත්වය වෙත මාර්ග සංවර්ධන අධිකාරිය පරිණාමනය කළ හැකි ආයතනික හා පද්ධතික වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරමින් නව ව්‍යාපෘතිය නියාමනය කෙරෙනු ඇත.

මෙම ව්‍යාපෘති‍ය ඔස්සේ නියාමනය කෙරෙන නව කොන්ත්‍රාත් ක්‍රමවේදය, ඉදිකිරීම්වල ගුණාත්මක බව වැඩි දියුණු කිරීම, ප්‍රමාදයන් හා පිරිවැය අවම කිරීම, කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල ක්‍රියාකාරීත්වය පිළිබද ගැටලුව විසඳීම ඉලක්ක කොට ඇත. A3 මහා මාර්ගයෙහි ජාඇල සිය හලාවත දක්වා මාර්ග කොටසෙහි ක්‍රියාත්මක වීමට නියමිත මෙහි නියමු වැඩසටහනෙහි දී, දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් යටතේ කොන්ත්‍රාත්කරු විසින්ම මාර්ගය සැලසුම් කිරීම, වැඩිදියුණු කිරීම, පුනරුත්ථාපනය හා නඩත්තු කිරීම සිදු කරනු ඇත.

"මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කරමින් ගෙවීම් සිදු කරනු ඇත්තේ  මාර්ග භාවිතා කරන්නන් සඳහා, වලවල්වලින් තොර, නිසි අද්දරවල් සහිත, නිසි ජල වහනය සහ විදුලි සැපයුම සහිත වඩා හොඳින් නඩත්තු කළ, සුවපහසු සහ ආරක්ෂිත මාර්ගයක් ලබා දීම සැළකිල්ලට ගනිමිනි."  යනුවෙන් ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ යටිතල පහසුකම් විශේෂඥ සහ කාර්ය සාධක කණ්ඩායම් නායිකා අමාලි රාජපක්ෂ පැවසී ය. "මෙම ආකාරයේ කොන්ත්‍රාත්තු මගින් රජයටත්, කොන්ත්‍රාත්කරුවන්ටත් සහ මහජනතාවටත් වියදම් ඉතිරි කරගැනීම ඔස්සේ වාසි සැලසෙනු ඇති අතර අනාගතයේ දී වෙනත් ක්ෂේත්‍ර‍ ගණනාවක භාවිතයට කැඳවිය හැකි ආදර්ශයක් ලෙස ද මෙය විමසිය හැකි වනු ඇත."

මෙම ව්‍යාපෘතිය සඳහා වන ණය මුදල ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) විසින් සැපයෙන අතර, ලෝක බැංකුවේ  අඩු පොලී ණය ප්‍ර‍දාන යටතේ ආන්තිකයේ වසර පහක සහන කාලයක් ද ඇතුළුව වසර 25 ක කාල පරිච්ජේදයක් සඳහා පිරිනැමෙනු ඇත. ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අරමුදල් සපයන වැඩසටහනක් ඔස්සේ ද මෙම ව්‍යාපෘතියට ආධාර හිමි වේ. මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මෙහි ප්‍රමුඛ ක්‍රියාකාරී ආයතනය ලෙස කටයුතු කරයි.

 


සම්බන්ධ වන්න

Colombo
Dilinika Peiris-Holsinger
+94115561325
dpeiris@worldbank.org
Washington
Joe Qian
+1 (202) 473 5633
jqian@worldbank.org
Api
Api